The-UN-says-that-62-lakh-people-are-in-a-food-crisis-in-this-country

මෙරට  ජනගහනයෙන්  ලක්ෂ 62ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත්, ඉන් ලක්ෂ 29ක් ළමයින් බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ. මෙම තත්වය එළඹෙන වසරේ පෙබරවාරි වන විට තවත් උග්‍ර වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඉදිරි මාසවලදී ළමා මන්දපෝෂණ තත්වය තවත් දරුණු විය හැකි බවට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පුරෝකථනය කරන බවත් එම වාර්තාවේ සඳහන් වේ. එසේම ළමයින් ලක්ෂ 11කට අධ්‍යාපනය සඳහා සහාය අවශ්‍ය බවත් කාන්තාවන් සහ ළමයින් ලක්ෂ 28කට පෝෂ්‍යදායි ආහාර අවශ්‍ය බවත් ජාතීන්ගේ ළමා අරමුදල පෙන්වා  දෙයි.



ශ්‍රී ලාංකිකයන් 66,000 ක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ. ශ්‍රී ලංකාවේ සෑම පවුල් 5 කින් පවුල් 2 ක්ම සිදුකරන වියදම්වලින් සියයට 75 ක් සිදුකරන්නේ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට බව එම වාර්තාවෙන් පෙන්වා දී ඇත. තම මාසික වැටුපෙන් හෝ ආදායමෙන් සියයට 75ක් ආහාර සඳහා වියදම් කරන විට සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට ඉතිරි වන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක් බවද එම වාර්තාවේ දැක්වේ. එසේම ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 53ක් ආහාර වේල් මගහරින බවත් ඉදිරියේදී මෙම සංඛ්‍යාව දේශගුණික විපර්යාස සහ දේශපාලන අර්බුද හේතුවෙන් තවත් වැඩි විය හැකි බවත් එම වාර්තාවේ සඳහන් වේ.


 විමුක්ති එස් රුද්‍රිගු