anura-kumara-speks

ගාල්ල සමණළ ක්‍රීඩාංගනයේ පැවති රට විකුණන, ජනතාව මර්දනය කරන, ජනපීඩක ආණ්ඩුවට එරෙහි ජන බල විරෝධතා රැලිය අමතමින් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඊයේ (01) මෙසේ පැවසීය.

“රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ 134කට කොටුවෙලා ඉන්නේ. රනිල් නැගිටිනකොට නැගිටින්නේ පොහොට්ටුව. රනිල් වාඩිවෙනකොට වාඩිවෙන්නේ පොහොට්ටුව. රනිල් හිනා යන්නේ නැති කතා කියනකොට හිනාවෙන්නේ පොහොට්ටුව. කිහිපදෙනෙක් රනිල් කතාකරන කොට ටී.වී. එකේ පේන්න පිටිපස්සෙන් ඇවිත් වාඩිවෙනවා. රනිල්ගේ එකම ව්‍යාපෘතිය පොහොට්ටුවේ 134 දෙනා සතුටු කිරීමයි. නමුත් හමුදාවේ, පොලීසියේ කුඩා ව්‍යාපාරිකයාගේ ගොවියාගේ ධීවරයාගේ කිසිම සතුටක් රනිල් වික්‍රමසිංහගේ පාලනයට නැහැ. ”



“රනිල් වික්‍රමසිංහගෙ සටන් බිම පාර්ලිමේන්තුවේ 134, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ තිබෙන්නේ. මේ දක්වා රට පාලනය කළ අවුරුදු 74 තුළ රටකට සිදුවිය හැකි සියලුම ව්‍යසනයන් අත්කර දී අවසන්. ලෝකය ඉදිරියේ ලැජ්ජාවට, හිඟමනයට පත්වූ රටක් බවට මේ රටේ මේ දක්වා සිටි පාලකයන් ගෙනත් තිබෙනවා. අපි මේ තත්වය වෙනස් කළ යුතු නැද්ද? මේ රටේ ආර්ථිකය ගැන ඓතිහාසික ලිපියක් ලියනවා නම් පසුගිය අප්‍රේල් 12 වෙනිදා නිතැතින්ම සටහන් වෙනවා. ලබාගෙන තිබෙන ණය නොගෙවා අත්හිටුවන රටක් බවට මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු පිරිස ප්‍රකාශයට පත් කළා. ඒ කියන්නේ ලෝකයට පොලු තිය තිය ණයකාරයෙක් බවට පත්කර තිබෙනවා. මේ අර්බුදයට මඟපෑදුනේ ආණ්ඩුවට වියදම් කරන්න ආදායම් නැතිවීමත් රටට ඩොලර් නැතිවීමත් නිසයි.

රටේ අවශ්‍ය කටයුතුවලට වියදම් කිරීමේ ආදායම් මහා භාණ්ඩාගාරයට ලැබෙන්නේ නෑ. ඒ වගේම ඖෂධ, කිරිපිටි, ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කරන්න ඩොලර් නැහැ.
 භාණ්ඩාගාරයට රුපියල් වගේම රටට ඩොලර් අහිමිවීම නිසා 1980 සිට රටේ සම්පත් විකුණමින් ණය ලබාගනිමින් හිඟය පියවන්න ක්‍රියාකළා. 2020 වනවිට සංචිත අහිමිවෙන තත්වයක් ඇවිත් 2022 වනවිට සංචිත හිඳුනා. අද අත්‍යවශ්‍ය ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් තිබෙන්නේ අප්‍රේල් මාසයේ සිට මේ දක්වා ඩොලර් කෝටි 320ක ණය වාරික නොගෙවීම නිසයි. ඒ හැර රනිල්ගේ හපන්කමක් නිසා නොවෙයි. වැරදිලාවත් ණය ගෙව්වා නම්, මාර්තු මාසයටත් වඩා බිඳවැටීමක් සිදුවෙනවා.“