horana-teacher-student-love

පසුගිය මාර්තු මාසයේ කොළඹ ප්‍රදේශයේ පාසල් සිසුවකු කැටුව 60 වතාවක් හෝටල් වලට ගිය ගුරුවරියක ගැන පුවතක් වාර්තාවූ අයුරු ඔබට මතක ඇති.  පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය එම ගුරුවරිය අධිකරණයට ගෙන්වා දඩුවම් ලබාදී තිබුණි.
ඊට තරමක් සමාන තවත් සිදුවීමක් වාර්තාවන්නේ හොරණින්ය.

හොරණ අධ්‍යාපන කලාපයේ පාසලක 42 හැවිරිදි තිදරු මවක වූ ගුරුවරියක තම පන්තියේ 15 හැවිරිදි සිසුවෙකු සමග පවත්වන්නට උත්සාහ කළ අනියම් ඇසුරක් එම සිසුවාගේ බාරකරුවන් මැදිහත්වී බේරාගෙන ඇති සිදුවීමක් වාර්තාවේ.
මෙම සිසුවාගේ දෙමාපියන් විදෙස් ගතව සිටින අතර ඔහු පාසල් පැමිණ ඇත්තේ පුංචි අම්මාගේ නිවසේ සිටයි.
පුංචි අම්මාට රහසින් සිසුවා මෙම ගුරුවරිය සමග ඇසුරක් පවත්වමින් සිට ඇති අතර දෙන්නා අතර දුරකථන පණිවිඩ හුවමාරුවූ බව හෙළිව තිබේ. පාසලින් පිටත තැන්වලදී ගුරුවරිය හා සිසුවා මුණගැසීමට බියක් දක්වා ඇත්තේ දන්නා කියන අයට පෙනුනොත් ගැටලු මතුවන නිසාය.
මේ අතරවාරයේ සිසුවාගෙන් පුංචි අම්මාගේ නිවසේ කිසිවෙකු නොමැතිවන අවස්ථා දැනගෙන රහසේම නිවසට පැමිණ සිසුවා මුණගැසීමට ගුරුවරිය පුරුදුවී ඇත. මේ ආකාරයට දින කිහිපයක් ගුරුවරිය හා සිසුවා නිවසේ කවුරුත් නැතිවන වේලාවන්හි හමුව තිබී ඇති අතර එක් දිනක් මේ හොරය අතටම හසුවීම නිසා වැඩේ වැරදුණි.

එළියට ගිය පුංචි අම්මා හදිසියේ යමක් අමතකවී රැගෙන එන්නට යළි නිවසට පැමිණි අවස්ථාවකදී සැකකාර ගුරුවරිය සිසුවා සමග නිවසේ සාලයේ සැටිය මත වාඩි වී සිට ඇති බවත් ගුරුවරිය සිසුවාගේ මුහුණ සිඹින අයුරු නිවසට ගොඩ වූ අවස්ථාවේ පුංචි අම්මා විසින් දැක තිබූ බවත් වාර්තාවේ.

එම අවස්ථාවේ තිගැස්සුණු ගුරුවරිය අහම්බෙන් නිවසට ආ බවක් හඟවා එතැනින් පිටව ගොස් ඇති නමුත් පුංචි අම්මා ඇතිවූ සැකයට වැඩිදුර සොයා බැලීමේදී සිසුවාගේ දුරකථනයේ ගුරුවරිය එවූ ‘අමුතු‘ පණිවිඩද දැක තිබේ. ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී ” සුදු ඔයාව දකින්න නැතුව මට ඉන්න බෑ” ඔයා ගාව හරි සුවඳයි” ආදී සටහන් තිබී ඇත.
බුද්ධිමත්ව කල්පණා කළ පුංචි අම්මා සිසුවාට මේ බව නොහැගවෙන්නට  සියලු තොරතුරු රැස් කළ අතර විදේශගතව සිටින ඔහුගේ දෙමව්පියන්ට කරුණු දන්වා ඇත.
සිසුවාගේ මව දුරකතනයෙන් සිද්ධිය දැනගැනීමෙන් පසුව දින කිහිපයක් ඇතුළතදී යළි මෙරටට පැමිණ මොරගහහේන පොලීසියට සහ අධ්‍යාපන කාර්යාලයට සිද්ධිය ගැන පැමිණිලි කර තිබේ.‍
15 හැවිරිදි සිසුවකුගේ මුහුන සිඹ ලිංගික අතවර උත්සාහයක් කළ බවට අදාළ සාක්ෂි පොලිසිය දුරකථන පරීක්ෂාව හා කට උත්තර ගැනීම් තුළින් සනාථ කරගත් අතර සැකකාර ගුරුවරිය සිසුවාට පසුගිය කාලය පුරා විවිධ ආහාර වර්ග ලබාදී ඇති බවටද පොලිස් පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී ඇත.


තොරතුරු වාර්තා කළ පසුව සැකකාර ගුරුවරිය වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් පාසලකට මාරු කර යැවීමට අධ්‍යාපන බලධාරීහු පියවර ගත්හ. 

අනතුරුව ගුරුවරිය මොරගහහේන පොලිසියට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ 42 හැවිරිදි තිදරු මව සිසුවා සමග අයථා ඇසුර පිළිගෙන තිබේ.හොරණ අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරිය මෙම මස 6 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හොරණ වැඩබලන මහේස්ත්‍රාත් නලින් ඉඹුල්ගොඩ මහතා නියෝග කළේය.
 අතවරයට ලක්වූ සිසුවා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට යොමු කරනු ලැබ සිටී.