wanidu-hasaranga-fined

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග විනය කඩ කිරීමේ චෝදනා ඔප්පුවීම මත ඔහුට දඬුවම් නියම කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) පියවර ගෙන ඇත. ඇෆ්ගනිස්තානය සමගින් පෙරේදා (30දා) පැවැති තරගය අතරතුරදී විනිසුරු තීරණයකට සිය විරුද්ධත්වය පෙන්වීම යන චෝදනා මත වනිඳුට මෙම දඬුවම් නියම කර තිබේ.



තරගයේ 26වැනි  පන්දුවාරයේ වනිඳු විසින් යැවූ පන්දුවකට ප්‍රතිවාදී පිතිකරු වූ නජිබුල්ලා සඩ්‍රාන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූවෙකු ලෙස පිටියේ විනිසුරු ක්‍රියා කළද තෙවැනි විනිසුරු විසින් එය නොදැවීමක් ලෙස තහවුරු කළේය. එහිදී වනිඳු එම තීරණයට සිය විරුද්ධත්වය ප්‍රකාශ කරමින් එම තීරණය පෙන්වූ රූපවාහිනී තිරයට සිය දෑත් දික් කිරීම වරදක් ලෙස අයි.සී.සී.ය තීරණය කර තිබිණි.  මේ සම්බන්ධව පිටියේ විනිසුරුවන් වූ නිටින් මෙනන්, ලින්ඩන් හැනිබල් දෙදෙනාත්, තෙවැනි විනිසුරු වූ රවීන්ද්‍ර විමලසිරි සහ සිව්වැනි විනිසුරු වූ රුචිර පල්ලියගුරුගේ යන අයත් පැමිණිලි කර තිබේ. 

මේ අනුව වනිඳු තරග තීරක රන්ජන් මඩුගල්ලේ මහතා හමුවේ සිය වරද පිළිගෙන තිබිණි. මේ අනුව වනිඳුගේ විනය වාර්තාවට එක් අසාදු ලකුණක් (demerit point) එක්වී ඇති අතර, එය පසුගිය මාස 24ක කාලය තුළදී ඔහුට එරෙහිව එල්ලවූ පළමු අසාදු ලකුණද වේ.