anula-thera-archiology

කැණීම් කටයුතු සිදු කරන ඓතිහාසික මිහින්තලේ අනුලා චෛත්‍යයේ නිදන් කර තිබූ, අනුලා මහරහත් තෙරණියගේ බවට විශ්වාස කළ හැකි ධාතූන් වහන්සේලා සහ තවත් මිල කළ නොහැකි පුරාවස්තු රැසක් හමු වූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ලෝහ ආභරණ, අක්ෂර සහිත ලෝහ කාසි, මැටි මංජුසා, පළිඟු කරඬු, ලෝහ මුද්දක් යෙදූ රෙදි කැබැල්ලක්, මුහුදු බෙල්ලන් ඇතුළු පෞරාණික වස්තු එලෙස හමු වී තිබේ. පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් සහ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ඊයේ (25දා) අනුලා පුද බිමේදී මෙම පුරාවස්තු නිරීක්ෂණය කළහ.




මේ පිළිබඳ අදහස් දැක්වූ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා,

"මෙම භූමිය මීට වසරකට කලින් තිබ්බෙ නිකම්ම පස් ගොඩක් වගේ, දැන් ඉතා දර්ශනීය ස්තූපයක් විදියට ගොඩනැගීමට අපට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ කාර්ය කරනු ලැබුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශය විසින්. මෙය පුරාවිද්‍යාත්මක වශයෙන් සංරක්ෂණය කරලා මහජනතාවට වන්දනාමාන කළ හැකි ආකාරයට ප්‍රතිසංස්කරණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ කාර්ය කරනු ලැබුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශය විසින්. මෙය පුරාවිද්‍යාත්මක වශයෙන් සංරක්ෂණය කරලා මහජනතාවට වන්දනාමාන කළ හැකි ආකාරයට ප්‍රතිසංස්කරණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සැලසුමක් සකස් කරගෙන යනවා. ඒ සඳහා වන මූල්‍ය අනුග්‍රහය අපේ ආචාර්ය බෝදාගම චන්දිම මාහිමිපාණන් විසින් ලබාදීමට පොරොන්දු වී තිබෙනවා. ඒ වගේම මේ ස්ථානයේ පර්යේෂණ කටයුතු නාගානන්ද විශ්වවිද්‍යාලය සමග සහයෝගිත්වයෙන් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.



මේ ස්ථානයේ කැණීම්වලින් අපට ඉතාමත් වැදගත් වෙනවා ධාතුන් වහන්සේලා සොයාගැනීම, අපි විශ්වාස කරන විදිහට මෙය අනුලා මහරහත් තෙරණින් වහන්සේගේ වෙන්න පුළුවන්, අපට තාම ස්ථිරවම කියන්න බැහැ කාගෙද කියලා. ඒ වගේම පළිඟු කරඬු, ලෝහ ආභරණ, කාසි, මංජුසා, පබලු ආදිය මෙම ස්ථානයෙන් සොයාගෙන තිබෙනවා. ඒ සියලුම දේවල් සහ තවත් බොහෝ දේවල් අපට ඉදිරියේදී හමුවෙයි. මේ භූමියේ හෝ මිහින්තලේ යම් ස්ථානයක කෞතුකාගාරයක් ස්ථාපිත කරලා ඒවා මහජනතාවට වන්දනාමාන කිරීමට හැකි පරිදි තැන්පත් කිර්මට අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙන් කියා සිටියේය.

මෙරට ප්‍රථම බුද්ධ ශ්‍රාවිකාව වූ අනුලා මහරහත් තෙරණිය ඇතුළු පන්සිය නමක් බුද්ධ ශ්‍රාවිකාවන් වෙනුවෙන් ක්‍රිස්තු පූර්ව තෙවැනි සියවසේ විහාර මහා දේවියගේ මූලිකත්වයෙන් ඉදිකළ දැනට ගරා වැටී විනාශ වෙමින් පවතින ඓතිහාසික අනුලා චෛත්‍ය පුදබිම නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ පුණ්‍ය උත්සවය පසුගියදා ආරම්භ කෙරිණි. තායිවානයේ ප්‍රධාන සංඝනායක, නාගානන්ද ජත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ හා කුලපති පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම සෑයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙන අතර, චෛත්‍ය ප්‍රතිස්ථාපන කටයුත්ත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.

ඉතා පැරණි ඉතිහාසයක් ඇති අනුලා චෛත්‍යය පිහිටි පුදබිම 1926 වසරේදී පුරාවිද්‍යා බිමක් බවට පත්කර ඇතත්, කාලයාගේ ඇවෑමෙන් විනාශයට පත්ව තිබිණි. සංඝමිත්තා මහ රහත් තෙරණිය ශ්‍රී මහ බෝධීන් වහන්සේ මෙරටට වැඩමවීමෙන් අනතුරුව අනුලා බිසව ප්‍රමුඛ කුල කාන්තාවන් පන්සියයක පිරිස එක්ව පැවිදි වී මෙහෙණි සසුන ආරම්භ කර, අනුලා චෛත්‍යය පිහිටි පින්බිමේ සිට ත්‍රිපිටකය හදාරා බුදුදහම ව්‍යාප්ත කිරීමට කටයුතු කළ බවද කියැවේ.

 බී.ජී. චතුරංග