
අම්බලන්තොට පහළ බැරගම දැහැමිපුර ප්‍රදේශයේ නිවෙසකදී පෙරේදා (24) දහවල් කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කර ඇති බව අම්බලන්තොට පොලිසිය කියයි. සිය බිරිය යතුරුපැදියකින් නිවෙසින් පිටව සිටි අවස්ථාවේ සැමියා බිරිඳට දුරකතන ඇමතුමක් ලබාදී ඇය නිවෙසට ගෙන්වා මෙම ඝාතනය සිදුකර සැමියා නිවෙසේ දොරගුළු වසා යතුරු රැගෙන අම්බලන්තොට පොලිසියට පැමිණ පොලිසියට බාර වී ඇතැයි පොලිසිය කියයි.
සැකකරුගේ ප්‍රකාශ මත පොලිසිය නිවෙසට ගොස් දොර විවෘත කර බලද්දී නිවෙසේ මැද සාලයේ ඝාතනයට ලක් වූ කාන්තාවගේ සිරුර උඩුබැලි අතට වැටී සිටිනු දක්නට ලැබුණ බව පොලිසිය කියයි.
ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාලයක් වී ලේ පැල්ලම් තිබූ බවද පොලිසිය කියයි.සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ දැහැමිපුර පදිංචි දම්මුල්ල හේවා සමරප්පුලිගේ ශ්‍රියාණි (50) නමැති දෙදරු මවක බව පොලිසිය කියයි. මන්නා පිහියකින් කාන්තාවගේ ගෙල ප්‍රදේශය කපා කාන්තාව ඇඳ සිටි ජැකට් එකෙන්ද ගෙල සිර කර මෙම ඝාතනය වී ඇති බව දැනට කර ඇති මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. අම්බලන්තොට පොලිසියට පැමිණි සැකකාර ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි පොලිසිය පවසයි. මියගිය කාන්තාවගේ දියණිය මවගේ නිවස ආසන්නයේ පදිංචි වී සිටින අතර පුතා මහණ වී කොළඹ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන බවද පොලිසිය කියයි.
ස්වාමි පුරුෂයා ගොවිතැන් කරන පුද්ගලයෙකි. යතුරුපැදියෙන් ගමන් බිමන් කරන හෙයින් ඒවා නතර කරන ලෙසට ස්වාමිපුරුෂයා කිහිපවතාවක් සිය බිරියගෙන් ඉල්ලීම් කර ඇතත් සිද්ධිය වූ දිනයේද යතුරුපැදියෙන් නිවසින් බැහැරව ගොස් සිටි බව ස්වාමිපුරුෂයා පවසා ඇතැයි පොලිසිය කියයි. බිරියට දුරකතන ඇමැතුමක් ලබාදී නිවෙසේ බඩු මුට්ටු සියල්ල රැගෙන තමා නිවෙසින් පිටව යන බව ස්වාමිපුරුෂයා බිරිඳට පවසා ඇති අතර ඒ ඇමැතුම අනුව නිවෙසට පැමිණි කාන්තාව යතුරු පැදිය නතර කර නිවසට ඇතුළු වූ අවස්ථාවේ මෙම පහර දීම සිදුකර ඇති බව සැකකරුගේ ප්‍රකාශ මත හෙළි වී ඇතැයි පොලිසිය පවසයි.
- සනත් ගමගේ-