air-hoster-daughter-mother

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරියකුගේ නි‍වසේ තිබූ රුපියල් ලක්ෂ හතකට ආසන්න රන් භාණ්ඩ තොගයක් සොරාගෙන ඒ වෙනුවට ඉමිටේෂන් රන් භාණ්ඩ තොගයක් තබා හාම්පුතුන් රැවටූ එම නි‍වසේ මෙහෙකාරිය ඊයේ (30) දා අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.



මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලවිලවත්ත ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි කාන්තාවකි.

මෙම කාන්තාව රුපියල් 1000ක දිනක වැටුපට යටත්ව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරියකුගේ නි‍ෙවසේ මීට මාස කිහිපයකට පෙර සිට මෙහෙකාර සේවයේ යෙදී ඇති අතර නිවැසියන් හා විශ්වාසවන්තව සේවයේ යෙදී සිටියදී නි‍වසේ කාමරයක අල්මාරියේ තබා තිබූ රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා රන් මාලයක් සහ මුදු දෙකක්, රුපියල් ලක්ෂයක් පමණ වටිනා ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතනයක් සොරාගෙන තිබුණි. සොරකම කළ පසුත් ඇය සුපුරුදු පරිදි නි‍වසේ මෙහෙකාර සේවයේ යෙදී සිට ඇති අතර පසුව රන් භාණ්ඩ නොමැති බව නි‍වසේ කාන්තාව දැන ගැනීමත් සමඟ පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කර ඇත.



ඒ අනුව විමර්ශන කටයුතු සඳහා පොලිසිය  ගිය අවස්ථාවේදී සැකකටයුතු ලෙස හැසිරුණු මෙහෙකාරියගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී අස්ථානගත වූ රන් භාණ්ඩ හා ජංගම දුරකතනය තමා සොරාගත් බවට පාපෝච්චාරණයක් සිදු කර ඇත.

කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී සොරාගත් භාණ්ඩ විකුණා ලබාගත් මුදලින් තම දියණියගේ ගුවන් සේවිකාවක් වීමේ සිහිනය සැබෑ කිරීමට වැය කර ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය පවසයි.

ඒ අනුව සොරාගත් රන් භාණ්ඩ හෝමාගම නගර මධ්‍යයේ උකස් භාණ්ඩ අලෙවි සැලකට දෙලක්ෂ තිස්දහසකට විකුණා තිබියදී සොයාගත් බවත් ජංගම දුරකතනය රුපියල් 70,000ට නුගේගොඩ ප්‍රදේශයේ ජංගම දුරකතන අලෙවි සැලකට විකුණා තිබියදී සොයා ගෙන ඇත.
සැකකාර කාන්තාව හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.