rakwana-incident

පාසල අවසන් වී මව සමඟ නිවසට යමින් සිටි හතරවන වසරේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක වෙත විශාල වල් ඌරෙකු පැනීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රක්වාන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව දැරියගේ මව සඳහන් කළාය.



රක්වාන ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු අවසන් වූ පසු ඊයේ (30) දින පස්වරු 1.30 පමණ රක්වාන උඩහවීදිය ප්‍රධාන මාර්ගයේ මීටර සියයක පමණ දුරක් තම දියණිය සමඟ පා ගමනින් ඇවිද යමින් සිටියදී රක්වාන පොලිස් ස්ථානය අසල දී එක්වරම දියණියව පෙරළාගෙන වල් ඌරා මාර්ගය හරහා දිවගිය බව දැරියගේ මව වන කුමුදු ප්‍රියදර්ශනී මහත්මිය පැවසීය.

වල් ඌරා දැරියගේ ශරීරයේ ගැටීම හේතුවෙන් දැරියගේ හිස මාර්ගයේ වැදී ඇත. දැරියගේ නිල ඇඳුමේ උරහිස කොටසේ ලේ පැල්ලමක් පවතින බවද ඌරාගේ ශරීරයේ තිබූ ලේ දැරියගේ ගවුමේ ගෑවී තිබූ අතර, මෙම සිදුවීමෙන් දැරිය දැඩි ලෙස බියටත්, කම්පනයටත් පත්ව සිටි බව මව සඳහන් කළාය. රෝහල්ගත කළ දැරියට වෙනත් බාහිර තුවාල වී නොමැති අතර, දැරියගේ හිසට යම් හානියක් ඇතිවී දැයි පරීක්ෂා කරන බව රක්වාන රෝහලේ වෛද්‍යවරයෙකු සඳහන් කරන ලදි.

රක්වාන ඉන්දික සී. කුමාර