වසර 16 ක් පමණ කුවේට්හි ගෘහ සේවිකාවක ලෙස සේවය කර හදිසියේ මියගිය සිය පුතුගේ තෙමස් පිංකමට සහභාගීවීමට නැවත සියරට වෙත පැමිණි කාන්තාවක ඇගේ සැමියා අතින් ඝාතනය වී සැමියාද වසබී මියයාමේ සිදුවීමක් කුරුණෑගල ගොකරැල්ල ප්‍රදේශයෙන් වාර්තාවේ.
මෙලෙස මියගියේ නිලූකා විජේසුන්දර 46 හැවිරිදි කාන්තාවකි. ඇය විවාහ වී සිටියේ පෞද්ගලික ආයතනයක රියැදුරකු වශයෙන් සේවය කළ සුනිල් ශාන්ත (48) සමගය. මීට වසර 20 කට පෙර ඇතිකර ගත් සම්බන්ධයක ප්‍රතිඵලයක් ලෙස ඔවුන් විවාහ වී තිබුණි. නිලූකාගේත් සුනිල්ගේත් විවාහ ජීවිතය තුළ විටින් විට රණ්ඩු අඩ දඹර ඇතිවූයේ මුදල් හදල්වලින් පොහොසත් නොමැතිවීම සහ එකිනෙකා කෙරෙහි ඇති වූ සැක සංකාවන් මේ ​හේතුවෙන් ඔවුන් දෙපළට වසර තුනක් හෝ එක වහලක් යට සිටීමට නොහැකි විය. ඔවුන් වෙන්වී ජීවත්වීමට ආසන්නම හේතුව වූයේ නිලූකා සැමියාගේ විරෝධය ද නොතකා විදේශ ගතවීමට ගත් තීරණය ය.



2005 වසරේදී කුරුණෑගල විදේශ රැකියා නියෝජිතායතනයක් මාර්ගයෙන් කුවේට් හි ගෘහ සේවිකාවක ලෙස විදෙස් ගත වන නිලූකා තම පුතුට හා දියණියට සැමියාගෙන් වතුර පොදක්වත් අවශ්‍ය නැති තැනක සිටියාය. තම දෙමාපියන් පදිංචිව සිටින ගොකරැල්ල වෑගම ප්‍රදේශයේ නිවසේ දරු දෙදෙනා රඳවා ඇය මාසයෙන් මාසයට දරුවන්ගේ හා දෙමාපියන්ගේ වියදම්වලට මුදල් එව්වාය. එමෙන්ම දරුවන්ගේ අනාගතය ගැන සිතා නිවස තැනීමටද ඇය කටයුතු කළාය.

කුවේට් හි අඛණ්ඩව වසර දහයක් රැකියාව කළ ඇය පළමුව මෙරටට පැමිණ තිබුණේ 2015 වසරේදීය. මාස කිහිපයක් දරුවන් සමගින් සිට යළි විදේශ ගතවුණත් ඇය යළි පැමිණෙන දිනයක් ඇයගේ දෙමාපියන් හෝ දරුවන් දැන සිටියේ නැත. ඇය දෙවන වරට මෙරටට පැමිණියේ පසුගිය සැප්තැම්බර් මාසයේදීය. ඒ අනපේක්ෂිත රිය අනතුරකට ලක්ව මිය ගිය තම 19 හැවිරිදි එකම පුතු වූ සනිත් සාමන් අමරසිංහ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සඳහාය.

දරුවන්ට කිසිදු අඩුවක් නොකළ නිලූකා තම එකම පුතණුවන්ට යතුරුපැදියක් අරන් දුන්නේ ඔහුගේ ඉල්ලීම නිසාය. පසුගිය සැප්තැම්බර් 11 වැනිදා ගොකරැල්ල වෑගම ප්‍රදේශයේදී හැඩලය අත්හැර හිටගෙන යතුරුපැදිය පැදවීමට යාමේදී වූ අවාසනාවන්ත අනතුරකින් සනිත් මිය ගියේය. නිලූකා අනපේක්ෂිත මොහොතක යළි මෙරටට පැමිණියේ එම අවමංගල උත්සවයට සහභාගි වීමටය.

මේ මළගමට නිලූකාගේ සැමියා වූ සුනිල් ශාන්ත ද සහභාගි වුණත් වෙන්වී සිටි ඒ දෙපළගේ දීගය අලුත් නොවීය. දරු සෙනෙහස දෙදෙනා තුළම පැවතියත් ඔවුනොවුන් අතර කිසිදු ආදාරයක් නොතිබුණේය. සුනිල් තම දරුවන් සමගින් කතා බහ කළත් ඔහු නිවස මායිමකට හෝ වද්දා නොගැනීමට නිලූකා එතෙර සිටම වගබලා ගත්තාය.

පුතුගේ හත් දවසේ දානමය පිංකමට සුනිල් පැමිණ සිටියත් මෙදින සුනිල් හා නිලූකා අතර ඇතිවූ ආරවුල ගැටුමක් දක්වා වර්ධනය නොවූයේ ඥාතීන්ගේ හා ගම්වාසින් පිරිසකගේ මැදිහත් වීම නිසාය. නිලූකා ඉන් දින කිහිපයකට පසු යළි කුවේට් හි සේවයට ගියේ පුතුගේ තෙමස් පූර්ණ පිංකම තම සැමියාගේ සහභාගිත්වයකින් තොරව තමන්ම පැමිණ හොඳින් ඉටුකිරීමේ අරමුණ ඇතිවය.

පුතුගේ හත් දවස දානයේ දී ඇතිවූ ආරවුල නිලූකා හා සුනිල් අතර දිගින් දිගටම ඇදිගියේ දුරකතන ඇමතුම් මගිනි. දෙදෙනා දෙදෙනාටම විවේචන කරගැනීමත් බැණ ගැනීමත් නිසා සුනිල් සිටියේ නිලූකා මරා දැමීමට තරම් වෛරයකිනි.

මේ අනුව පසුගිය (05) වැනිදා නිලූකා යළි මෙරටට පැමිණියේ පුතුගේ තුන් මාසේ දානය වෙනුවෙනි. තෙමස් පූර්ණ බණ දේශනාව ලබන 12 වැනිදා රාත්‍රියේදීත් දානමය පිංකම ලබන 13 වැනිදාත් පැවැත්වීමට නියමිතව තිබුණි.

පෙරේදා (06) වැනිදා සවස 06.30 ට පමණ නිලූකාත්, නිලූකාගේ බාල සහෝදරියත්, දියණියත් මවත් නිවසේ කතාබහ කරමින් සිටියහ. මේ අවස්ථාවේදී කිරි ඉල්ලා හැඬූ තම සොහොයුරියගේ අට මසක් වියැති දරුවා තම කාමරයට ගෙන ගොස් නිදිකරවීමට නිලූකා කටයුතු කර තිබුණාය. එම අවස්ථාවේදී කළු පැහැ ජැකට්ටුවක් පැලඳ නිවස තුළට ඇතුළු වූ පුද්ගලයකු එකවරම නිලූකා සිටි කාමරයට විදුලි වේගයෙන් ගොස් දොර අගුළු දමාගත් ආකාරය සාලයේ සිටි නිලූකාගේ සහෝදරිය දැක තිබුණි. ඇස් පිල්ලම් ගසන වේගයටම නිලූකා කාමරයේ සිට මර හඬ දෙන අයුරු ඇයට ඇසී තිබුණි. යාබද කාමරයේ සිටි නිලූකාගේ 17 හැවිරිදි දියණියටද ඒ ශබ්දය ඇසී තිබුණි. ඔවුන් අක්කේ අක්කේ අම්මේ අම්මේ කියා කෑ ගැසුවත් නිලූකාගේ කිසිදු ශබ්දයක් නොවීය.

ඉක්බිතිව අසල්වාසීන්ට කතා කර කාමරයේ දොරගුළු බිඳීමට ඔවුන් කටයුතු කර තිබුණි.

එහිදී ලේ විලක් මැද වැටී සිටි නිලූකාත් ලේ තැවරි තිබූ මන්නයක්ද අතැතිව සුනිලුත් මොවුන් දැක තිබුණි. සුනිල්ගේ ගෙලෙහි කැපුම් තුවාලයක්ද වූ අතර ඔහුද සිටියේ අසාධ්‍ය තත්ත්වයේය. පසුව අනාවරණය වූයේ සුනිල් බිරිඳට මන්නයෙන් කොටා තමන්ද වසපානය කර ගෙලකපාගෙන ඇති බවය. මේ සිදුවීමෙන් සුනිල් සහ නිලූකා යන දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබුණි.

ඇයගේ ගෙල ප්‍රදේශය ඇතුළු සිරුර පුරා කැපුම් කෙටුම් තුවාල රැසක් පෙනෙන්නට ඇතැයි පොලිස් නිලධාරියෙක් කීය. බිරිඳ ඝාතනය කර සියදිවි නසා ගෙන ඇති සුනිල් ශාන්තගේ ගෙල ප්‍රදේශයෙත් කැපුම් තුවාලයක් පෙනෙන්නට ඇතැයි පොලිසිය කියයි. වස වර්ගයක් අඩංගුව තිබූ කුප්පියක් සහ මන්නා පිහියක් වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් භාරයට ගෙන ඇත.  මව සහ පියා සිටින කාමරයෙන් මරළතෝනි හඬක් ඇසී ඇයගේ 17 හැවිරිදි දියණිය කෑ ගසා ඇති අතර එම කෑ ගැසීම ඇසී අසල්වාසීන් පිරිසක් පැමිණ සුවසැරිය ගිලන් රථයක් ගෙන්වාගෙන මව ගොකරැල්ල දිසා රෝහලට ඇතුළත් කිරිමට පියවර ගෙන තිබුණි.

මෙම කාන්තාව ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති අතර බිරිඳ ඝාතනය කළේ යැයි කියන සැමියාගේ සිරුර මිදුලේ වැටී තිබී පොලිසිය විසින් සොයාගනු ලැබීය.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ හා ඝාතනය සිදුකර සියදිවි නසා ගත් සැමියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (08) ගොකරැල්ල රෝහලේ දී සිදුකිරීමට නියමිතය.