70-age-anuradapura

අනුරාධපුර පූජා නගරය ආසන්නයේදී 70 හැවිරිදි සිල් මාතාවක අපයෝජනයට ලක්කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මහාධිකරණය මගින් විවෘත වරෙන්තු 8ක් ලබා, වසර 13කට ආසන්න කාලයක් පොලීසිය මග හැර සැගව සිටි පුද්ගලයෙකු පෙරේදා (07දා) අනුරාධපුර කොට්ඨාස අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. අනුරාධපුර පැරණි පූජා නගරයේ,  දකුණු වාසල පාරේ පදිංචිව සිටි 36 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.



මොහු 2015 වසරේදී අනුරාධපුර දුම්රිය නිවාස ආසන්නයේදී සිල් මාතාවක් අපයෝජනය කිරීම, රන් ආභරණ කොල්ලකෑම, කාන්තාවක අපයෝජනයට ලක් කිරීම, නිවාසවලට ඇතුළු වී දේපළ සොරකම් කිරීම, මුදල් මංකොල්ලකෑම, තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයන්ට බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් රැසක් සම්බන්ධයෙන් විවෘත වරෙන්තු අටක් ලබා සැඟවී සිටි  පුද්ගලයෙකු බවද පොලීසිය කියයි. ඉහත චෝදනා සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට යෑමේදී, සැකකරු මියගොස් ඇති බවට හෝ අතුරුදන් වන්නට ඇති බවට පවසා නිවැසියන් විසින් අවස්ථා කිහිපයකදීම තම නිලධාරීන් නොමග යවා ඇති බවද පොලීසිය කියයි.



මේ අතර සැකකරු ජීවත්ව සිටින බවට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන් බණ්ඩාර මහතා ලැබුණු විශේෂ තොරතුරකට අනුව මාස අටක් පමණ කාලයක් විමර්ශනය සිදු කර පෙරේදා (07දා) අනුරාධපුර පූජා නගරයට පිවිසෙන සිංහ කණුව අසල, ශ්‍රී මහා බෝධි මාවතේ දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. අනුරාධපුර කොට්ඨාශ අපරාධ අංශයේ පරීක්ෂක සරත්චන්ද්‍ර, උපපොලිස් පරීක්ෂක සුනිල්, පො.සැරයන්වරුන් වන අජිත්, ලෝචන, කුලතිලක යන නිලධාරීහු වැටලීම සිදු කර සැකකරු අත්අඩංගුවට ගෙන  තිබිණි.

 බී.ජී.චතුරංග