yala-night-safari

යාල ජාතික වනෝද්‍යානය තුළ 'නයිට් සෆාරි' ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව නියාමන ව්‍යාපෘතියක් ලෙස වනෝද්‍යානයේ එක් කලාපයක රාත්‍රී කාලයේ වනසතුන් නැරඹීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා අදාළ ප්‍රදේශයේ 'නයිට් සෆාරි’ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබේ. මීට අමතරව වනෝද්‍යානය තුළට තාවකාලිකව පෞද්ගලික වාහන ඇතුල් කිර්ම අත්හිටුවීමට ගෙන ඇති තීරණය කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කෙරෙනු ඇති බව සඳහන්ය. මේ පිළිබඳ කළ විමසීමේදී වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කර සිටියේ  වනෝද්‍යානය නැරඹීම සඳහා විශාල මුදලක් ගෙවා සෆාරි ජීප් රථ වෙන්කරවා ගැනීමට අඩු ආදායම්ලාභී ජනතාවට ඇති අපහසුව මීට මූලික හේතුව වී ඇති බවයි. පසුගියදා යාල වනෝද්‍යානයේ සතුන්ට හිංසා වන පරිදි වාහන කල්ලියක් විසින් ඒ තුළ අනිසි ලෙස රිය ධාවනය කිරීමේ සිද්ධියට සමගාමීව වනෝද්‍යානය තුළට පෞද්ගලික වාහන ඇතුල් කිරීම තාවකාලිකව අත්හිටුවීමට රජය කටයුතු කරන ලදී.

මේ අතර යාල ජාතික වනෝද්‍යානයේ කලාප vi ලෙස නම් කරමින් ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය යාල වනෝද්‍යානයට අයත් වනජීවී කලාපයක් ලෙසට පසුගියදා පත් කිර්මත් සමග යාල වනෝද්‍යානයට අයත් භූමි ප්‍රමාණය තවත් අක්කර 55,000කින් පමණ විශාල වී ඇතැයි වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ඒ අනුව යාල වනෝද්‍යානයේ දෙස් විදෙස් සංචාරකයන් සඳහා මේ වනවිට විවෘත කර නොමැති ඔන්ඩච්චි  කලාපයද කඩිනමින් විවෘත කිරීමට නියමිතය. විෂය භාර අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය එක් කිරීමට ප්‍රථම යාල වනෝද්‍යානය වර්ග කිලෝමීටර් 1,260කින් සමන්විත වූ බවයි.


(නිදර්ශනි චික්‍රමසිංහ)