election-parliament

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා නව පනතක් 2023 අයවැය වාදය අවසන් වූ පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් පෙරේදා (26දා) පාර්ලිමේන්තුවේ පැවැති 2023 අයවැය කාරක සභා විවාදයේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සිදු කළ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය. යහපාලන ආණ්ඩුව කාලයේ තිබුණු අනුපාත ක්‍රමය අනුව නව පනතක් ගෙන එන්නේ නම්ආ ණ්ඩුවට අවශ්‍ය තුනෙන් දෙකක බලය තහවුරු කර ගැනීම සඳහා විපක්ෂය සහාය ලබාදෙන බව එහිදී අදහස් පළ කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.



අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන - පළාත් සභා ඡන්දය පවත්වලා නැති හේතුව අපි සියලුදෙනා දන්නවා. පළාත් සභාවලට සංශෝධනයක් ගේන්න උත්සාහ දරලා, පළාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කරන්න පසුගිය රජය උත්සාහ කිරීම මගින් එය හිරවීමකට ලක්වෙලා තිබෙනවා. ඒ අවස්ථාවේදී අපි ප්‍රකාශ  කළා මෙය බොහෝ විට අවසන් වන්නේ ඡන්දයක් නැති සිරවීමට බර වෙලා කියලා. මම මැතිවරණ කමිටුවේ සභාපතිවරයා ලෙස සිටියාට එදා ගෙනාපු සංශෝධනය හදිස්සියේ ගෙනාපු සංශෝධනයක් ඔබතුමාලාගේ රජය විසින්. අන්තිමට සංශෝධනය ගෙනාපු ඇමතිතුමත් ඒකට විරුද්ධව ඡන්දය පාවිච්චි කළා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල - මම කියන්නේ මේ වගේ කල් ඉකුත් වෙලා තිබෙන්නේ අවුරුද්දකින්. තවදුරටත් කල් දාන්න එපා. අද දූෂණය ක්‍රියාත්මක කරපු කණ්ඩායම තමයි මේ ඉස්සරහට යන්නේ.

අග්‍රාමාත්‍ය දිනේෂ්  ගුණවර්ධන - මහ මැතිවරණය ඉල්ලා සිටිනවා අපිට තව අවුරුදු දෙකක් තිබියදී. ඒකත් පවත්වාගෙන යන්න ඉඩ දෙන්න මේ රට වැටුණු අර්බුදයෙන් ගොඩ ගන්න. ඉතින් ඡන්දය තියන්නේ මැතිවරණ කොමිසම මිසක් වෙන ආයතනයක් නෙවෙයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල - මෙතුමා පළාත් සභා ගැටලු ගැන කිව්වා. ආණ්ඩුවට පළවෙනි අවුරුදු දෙකේ තුනෙන් දෙක තිබ්බා. දැන් ඒක නෑ.

නමුත් පළාත් සභා සක්‍රීය කරන්න මැතිවරණ තියන්න අපි අවශ්‍ය තුනෙන් දෙක ලබාදෙනවා කියලා මේ අවස්ථාවේ කියනවා. පළාත් පාලන මන්ත්‍රීවරු 8,000 කරනකොට දෙපැත්තම ඡන්දය දුන්නා. මේක 4,000ක් කරනවා නම් පරණ තිබුණු අනුපාත ක්‍රමය එක වගන්තියකින් ස්ථාපිත කරන්න පුළුවන්. මම නම් කියන්නේ ඒක නෙවෙයි ප්‍රශ්නය. කල් දාන්නයි  හදන්නේ. හරි පනතක් ගේන්න අපි සහයෝගය දෙනවා.

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර - අපි අලුතින් පනතක් ගේන්න ඕන. අපි ඒ පනත ගේන්නම්, පාර්ලිමේන්තුවේ අයවැය ඉවර වුණු ගමන් ගේනවා.


( දිනේෂ් සමරකෝන්)