wimal-weerawansa-speaks

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකුගේ ගෝලයන් පිරිසක් පුත්තලමේ සිමෙන්ති කම්හලකින් ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් විසඳා ගැනීම සඳහා සිමෙන්ති කොට්ට දහසක් අදාළ මන්ත්‍රීවරයාට පරිත්‍යාග කරන්නට සිමෙන්ති කම්හලට සිදුවූ බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවැසීය. තමා කර්මාන්ත ඇමැති ලෙස සිටි කාලයේ සිදුවීම වූ බව කී විමල් වීරවංශ මහතා මේ සම්බන්ධයෙන් අදාළ සිමෙන්ති කම්හල තමාට පැමිණිලි කළ බව ද කීය.



මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ ප්‍රශ්නයක් මත අදාළ සේවක පිරිස සිමෙන්ති කම්හලෙන් ඉවත් කර තිබූ බව කී විමල් වීරවංශ මහතා ඉවත් කළ සේවක පිරිස තමාගේ ගෝලයන් වන හෙයින් ඔවුන් නැවත සේවයට බඳවා ගත යුතු යැයි අදාළ මන්ත්‍රීවරයා බලපෑම් කර ඇති බව ද කීවේය. මන්ත්‍රීවරයා පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන බවත් කලක් රාජ්‍ය අමාත්‍ය ධුරයක් ද දැරූ බවත් කී විමල් වීරවංශ මහතා ඔහු කපුටා පිළිගන්නට ගුවන්තොටුපොළට ද ගොස් සිටින ආකාරය දුටු බව ද කීය.

අදාළ සිමෙන්ති කම්හල චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ සමයේ පෞද්ගලීකරණය කළ ආයතනයක් බව ද වීරවංශ මහතා සඳහන් කළේය. මෙවැනි තත්ත්වයක් යටතේ කර්මාන්ත පවත්වාගෙන යන්නේ කොහොමදැයි ප්‍රශ්න කළ විමල් වීරවංශ මහතා මෙවැනි දේශපාලන සංස්කෘතියක් ඇති රටේ කර්මාන්තයක් පටන් ගන්න ගියාම මුලින්ම පගාව දෙන්න වෙන්නේ ප්‍රාදේශීය සභාවට හෝ නගර සභාවට බව ද සඳහන් කළේය.

 අංජුල මහික වීරරත්න