orian-nasa-moon

ඇමෙරිකාවේ නාසා ආයතනය සඳට යැවූ ‘ඔරියන්’ චන්ද්‍ර යානය  (කැප්සියුලය) ඊයේ (22) ඉතා සාර්ථකව සඳුගේ කක්ෂයට පිවිසියේය. වසර 50 කට පෙර, ‘ඇපලෝ' සඳේ ගමන් අවසන් වීමෙන් පසු නාසා ආයතනය චන්ද්‍ර යානයක් (කැප්සියුලයක්) සඳට යැවූපළමු අවස්ථාව මෙයයි.  පළමු වරට මිනිසකු සඳට යැව්වේ ඇමෙරිකාවේ නාසා ආයතනයයි. ඒ, ‘ඇපලෝ 11’ චන්ද්‍ර මෙහෙයුම යටතේය. පළමු වරට ඇමෙරිකන් නාසා ගගනගාමී නීල් ආම්ස්ට්‍රෝං සඳට පය තැබුවේ 1969 ජූලි 20 වැනිදාය. අවසන් ‘ඇපලෝ’ මෙහෙයුම'ඇපලෝ 17' ය.  අවසන් වූයේ 1972 වසරේදීය.

ඉන්පසු නාසා ආයතනය හෝ වෙනත් රටක අභ්‍යවකාශ ආයතනයක් හෝ ගගනගාමීන් සඳට යැවීමක් කළේ නැත.  ඊයේ (22) සඳුගේ කක්ෂයට පිවිසි ‘ඔරියන්’ චන්ද්‍ර යානය, සඳ මතුපිට සිට කිලෝ මීටර් 130 ක් ඉහළින් සඳ වටා යෑම ආරම්භ කළේය. සඳුගේ කක්ෂයට පිවිස සඳේ අඳුරු කලාපය පසු කරද්දී, මිනිත්තු 34 ක කාලයක්, යානය සහ පෘථිවි පාලන මැදිරිය අතර සබඳතා බිඳ වැටුණු බව ද පැවැසෙයි. ඇමෙරිකාවේ නාසා ආයතනය, ‘ඔරියන්’ චන්ද්‍ර යානය සඳට යවන්නේ ‘ආර්ටිමීස් 1 පුහුණු මෙහෙයුම යටතේය.

‘ඔරියන්' යානය (කැප්සියුලය) පසුගිය දා පෘථිවි කක්ෂයට තල්ලු කළේ ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්' නමැති අධි බලැති රොකට්ටු පද්ධතියේ ආධාරයෙනි. රොකට් පද්ධතියෙන් වෙන් වුණු ‘ඔරියන්’ යානය, පෘථිවිය වටා යමින්, පෘථිවි ගුරුත්ව බලය ආධාර කරගෙන, සඳ බලා යෑම ඇරැඹුවේ ඉන්පසුවය.

‘ආර්ටිමීස් I’ පුහුණු මෙහෙයුමක් වන බැවින්, ‘ඔරියන්’ චන්ද්‍ර යානයේ ගගනගාමීන් නොමැත. යානය තුළ අසුන් ගන්වා ඇත්තේ බොරු ගගනගාමීන් එසේත් නැතිනම් ‘ඩමි' තුනකි. මෙම ‘ඩමි'වලට සංවේදක සම්බන්ධ කර ඇති අතර, අභ්‍යවකාශ ගමනේදී ඒවාට සිදුවන විවිධ බලපෑම් නාසා විද්‍යාඥයන් අධ්‍යයනය කරයි.

මෙම අධ්‍යයන අනාගතයේ ගගනගාමීන් යොදා ගනිමින් සිදුවන චන්ද්‍ර මෙහෙයුම්වලට වැදගත් වනු ඇත. ‘ඔරියන්’ චන්ද්‍ර යානය යළි පෘථිවිය බලා පැමිණීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 11 වැනිදාය. යානය පැරෂූට් ආධාරයෙන් සාගරයට පතිත කෙරෙනු ඇත.‛ආර්ටිමිස් 1’ මෙහෙයුම සාර්ථකව අවසන් වුවහොත්, ඉදිරියේ දී ‛ආර්ටිමිස් 2' මෙහෙයුම ආරම්භ වනු ඇත. එම මෙහෙයුමට ගගනගාමීන් තිදෙනකු සම්බන්ධ කිරීමට නාසා බලාපොරොත්තු වෙයි. ‘ආර්ටිමිස් 2’ ද සඳ වටා යන මෙහෙයුමක් පමණි. ගගනගාමීන් සඳට ගොඩබැසීම සිදුවන්නේ 2024 වසරෙන් පසු සිදුවන ‘ආර්ටිමිස් 3' මෙහෙයුමේදීය.  ‘ආර්ටිමිස් 3’ මෙහෙයුම යටතේ පළමු වරට කාන්තාවක සඳට යැවීම ද නාසා ආයතනයේ අරමුණ වී තිබේ. 2030 වනවිට, කුඩා ජනාවාස පිහිටුවා ගනිමින් මිනිසුන් සදේ පදිංචි වනු ඇතැයි ද නාසා ආයතනය පැහැදිලි කර ඇත.

'ඔරියන්' චන්ද්‍ර යානය එසේත් නැතිනම් ‛කැප්සියුලය' ට සෙල්ෆි ඡායාරූප ගැනීමට හැකි බව ද නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ අධි බලැති රොකට්ටුවෙන් පෘථිවි කක්ෂයට ගොස්, රොකට්ටුවෙන් වෙන් වී, පෘථිවිය වටා කැරැකී අවශ්‍ය වේගය ලබා ගෙන සඳ බලා ගමන් ආරම්භ කළ අවස්ථාවේදී ද 'ඔරියන්' චන්ද්‍ර යානය සෙල්ෆි ඡායාරූප කීපයක් ලබා ගත්තේය. එම ඡායාරූප නාසා ආයතනයට එවා ඇති අතර, නාසා ආයතනය ඒවා මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කර ඇත. 'ඔරියන්' චන්ද්‍ර යානය සෙල්ෆි ඡායාරූප ලබා ගැනීම කරන්නේ එහි සූර්ය පැනලයේ ඇති කැමරාව ආධාරයෙනි. නාසා විද්‍යාඥයන් ‘ඔරායන්' චන්ද්‍ර යානය සමග සම්බන්ධ වී අවශ්‍ය දත්ත සහ ඡායාරූප ලබා ගැනීම සිදු කරන්නේ රේඩියෝ තරංග ආධාරයෙනි.