Modara-Pharmacy-owner-arrested-with-drugs-worth-80-lakhs

පාසල් සිසුන් සහ මත්කුඩු ලෝලීන් ඉලක්ක කරගෙන මත්පෙති කරල් අලෙවි කළ බව කියන ෆාමසි හිමියකු රුපියල් ලක්ෂ 80 කට අධික මත්පෙති  තොගයක්ද සමග කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මෝදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබ ඇත. සැකකරු සන්තකයේ තිබී මත්පෙති  78,000 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.



පිළිකා රෝගීන්ට සහ බරපතළ ශල්‍යකර්ම සිදුකරන රෝගීන්ට වෛද්‍ය නිර්දේශ මත වේදනා නාශකයක් ලෙස මෙම මත්පෙති  වශයෙන් ලබාදෙන බවත්, සැකකරු ඒවා හොරොයින් ආදේශකයක් ලෙස මත්ලෝලීන්ට එක පෙත්තක් රුපියල් 100 බැගින් අලෙවි කර ඇති බවත් පොලිසිය පවසයි. සැකකරුට ලැබුණ ඇණවුමක් අනුව මත්පෙති  4,800 ක තොගයක් මෝදර ප්‍රදේශයට රැගෙනවිත් සිටියදී පොලිසියට ලද තොරතුරකට අනුව නිලධාරීන් විසින් සැකකරු පෙරේදා (21) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබ ඇත.

සැකකරු ඒවා ත්‍රිරෝද රථයකින් රැගෙනවිත් තිබූ බවද පොලිසිය පවසයි. පොලිසිය සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හෙළිවූ ඔහුගේ කළුබෝවිල නිවස පරීක්ෂා කර තවත් මත්පෙති  73,800 ක ප්‍රමාණයක් සොයාගත් බවද පොලිසිය කියයි. සැකකරු මෙම මත්පෙති  ඉන්දියාවේ ජාවාරම්කරුවන් හරහා මුහුදු මගින් මෙරටට ගෙන්වා ගෙන ඇති බවට විමර්ශනවලදී හෙළි වී ඇතැයි පොලිසිය කියයි.
ඉන්දිකා රාමනායක