theripaha-incident

ලෝක ආහාර සංවිධානයේ අනුග්‍රහය මත රජය මගින් ලබා දෙන සහනාධාර වියළි ආහාර මල්ලක් ලබා ගැනීමට ගොස් ඇති වූ ආරවුලක දී බෑනා විසින් එල්ල කරන ලද පා පහරකින් සිය බිරියගේ මව වන පනස් හැවිරිදි කාන්තාවක මියගොස් ඇති බව තෙරිපැහැ පොලිසිය කියයි. සිද්ධියෙන් සැකකරුගේ බිරිය වන සිවුදරු මවක ද බරපතළ කැපුම් තුවාල ලබා රිකිල්ලගස්කඩ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.සැකකරු සහ ඇයගේ බිරිය පවුල් ආරවුලක් මත සැකකරු අතහැර දරුවන් සිවුදෙනා ද සමග බිරියගේ මවගේ නිවසේ වසර කිහිපයක සිට පදිංචිව සිට ඇති බව පොලිසිය සඳහන් කරයි.



ලෝක ආහාර සංවිධානයේ අනුග්‍රහය මත රජය මගින් ලබා දෙන සහනාධාර වියළි ආහාර මල්ලක් ලබා ගැනීමට සැකකරුගේ බිරිය ඇයගේ මව සමග හෙළගම ග්‍රාම නිලධාරි කාර්යාලයට පෙරේදා (22) ගොස් ඇති බවත්, එම ග්‍රාම සේවා වසමේ පදිංචි සැමියා නමින් එම සහනාධාර මල්ල ඇති බවට එහිදී තොරතුරු අනාවරණය වී ඇති බවත් පොලිසිය කියයි. සැමියා නමින් ඇති සහනාධාර මල්ල බිරියසහ ඇයගේ මව විසින් ලබා ගැනීමට උත්සාහ කිරීමේ දී තිදෙනා අතර බහින්බස්වීමක් සිදුවී ඇති බවත්, සැකකරු සඟවාගෙන සිටි පිහියක් ගෙන බිරියට සහ ඇයගේ මවට පිහිපහර කිහිපයක් එල්ල කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

සිද්ධියෙන් බරතළ තුවාල ලැබූ මව සහ දියණිය තෙරිපැහැ රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බිරියගේ මව මියගිය බව ද පොලිසිය පවසයි. සිද්ධියෙන් පසුව පලාගොස් සිටි විසිහත් හැවිරිදි සැකකරු පොලිසිය විසින් පෙරේදා (27) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (23) ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
ඉන්දිකා රාමනායක