2024-t20-world-cup

2024 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් හා ඇමෙරිකාවේදී පැවැත්වෙන ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ආකෘතිය පෙර වසරවලට සාපේක්‍ෂව වෙනස් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව 2021දී ඩුබායිහිදී හා මෙම වසරේදී ඕස්ට්‍රේලියාවේදී පැවැති ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී සුපිරි 12 වටය වෙනුවට 2024 වසරේදී සහභාගි වන කණ්ඩායම් 20 කණ්ඩායම් 5 බැගින් කාණ්ඩ 4කට බෙදා වෙන්කර තිබීම විශේෂත්වයකි.



එහිදී බෙදා වෙන්කරගන්නා කාණ්ඩ හතරට එක්වන පළමු කණ්ඩායම් දෙක (එක් කාණ්ඩයකින් කණ්ඩායම් දෙක බැගින්) සුපිරි අට අදියරට පිවිසීමට අවකාශය සැලසෙන අතර, සුපිරි අට වටය කාණ්ඩ දෙකකින් සමන්විත වෙයි.  සුපිරි අට වටයේදී කාණ්ඩ දෙකෙහිම පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නියමිතය.

කෙසේ වෙතත් පසුගිය ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී සුපිරි දස්කම් දැක්වූ කණ්ඩායම් 10ක් මෙන්ම සත්කාරකයන් ලෙස බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ඇමෙරිකාව ඇතුළු කණ්ඩායම් 12ක් මේ වනවිටත් 2024 ලෝක කුසලාන විස්සයි-20 තරගාවලියට සෘජුවම සුදුසුකම් සපුරා තිබේ.



මේ අතර පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තානය, ඉන්දියාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, ද. අප්‍රිකාව, එංගලන්තය සහ නෙදර්ලන්තය යන කණ්ඩායම් පළමු අට දෙනා අතරට පැමිණීමට සමත්ව සිටී. මේ වනවිට ශේ්‍රණිගත කිරීම්හි ඉහළින් සිටිමින් සුදුසුකම් ලබාගැනීමේ කඩඉම සපුරා ඇති ඇෆ්ගනිස්තානය හා බංග්ලාදේශය අනෙක් කණ්ඩායම් දෙක බවට පත්ව ඇති අතර, කලාපීය සුදුසුකම් ලැබීමේ තරගවලදී ලබාගන්නා සාර්ථකත්වය මත අනෙක් කණ්ඩායම් 8 ඉදිරියේදි තීරණය වීමට නියමිතව ඇත.