ruhunu-national-college

ගාල්ල, අක්මීමන, රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ (27) අලුයම ඇති වූ ගැටිබැට හුමාරුවකින් විද්‍යා පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන් 12 දෙනකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව අක්මීමන පොලිසිය පවසයි.  රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සීමාවාසික පුහුණුව ලබන සිසුන් කණ්ඩායමේ සීමාවාසික පුහුණුව ලබන 30 වැනිදායින් අවසන්වීමට නියමිතව ඇති බැවින් එම සිසුන් කණ්ඩායම ඒ වෙනුවෙන් පිටත වෙනත් ස්ථානයක පෙරේදා (26) රාත්‍රියේ සාදයක් පවත්වා ඇතැයි පොලිසිය කියයි.

බීමත්ව සිටි සිසුන් හතළිහක, පනහක පමණ පිරිසක් එම සාදයෙන් පසුව ඊයේ (27) අලුයම පළමු වසරේ සිසුන් රැඳී සිටින නේවාසිකාගාරයට කඩාවැදී පළමු වසරේ සිසුන් ඔවුන්ගේ ග්‍රහණයට ගෙන ඇති අතර සීමාවාසික සිසුන් විසින් පළමු වසරේ සිසුන්ගේ ජංගම දුරකතනද ඔවුන්ගේ භාරයට ගෙන තිබූ බව පොලිසිය කියයි.

නේවාසිකාගාරය සම්බන්ධයෙන් දේපාර්ශ්වය අතර ඇතිවූ බහින් බස්වීමක් ගුටිබැට හුවමාරුවක් දක්වා දික්ගැස්සී ඇති බව පොලිසිය පවසයි. අවසන් වසරේ සීමාවාසික පුහුණුව අවසන් කිරීමට නියමිතව සිටි සිසුන් පහරදීම නිසා පළමු වසරේ සිසුන් 12 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර කොවිඩ් සමයේ දී සීමාවාසික පුහුණුව ලබමින් සිටි සිසුන්ට නේවාසිකාගාරවල රැඳී සිටීමට අවස්ථාව නොලැබීම මතභේදයට හේතුවී ඇතැයි පොලිසිය කියයි.

සාදයේ දී බීමත්ව සිටි සීමාවාසික සිසුන් නේවාසිකාගාරයට කඩාවැදී පළමු වසරේ සිසුන්ට පහර දී ඇති අතර ඒ පිළිබඳ පළමු වසරේ සිසුන් නියෝජ්‍ය පීඨාධිපති එච්.ඩී. සරත් මහතාටද පැමිණිලි කර ඇති අතර පසුව නියෝජ්‍ය පීඨාධිපතිවරයා පහරකෑමට ලක්වූ සිසුන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන ඔවුන් රෝහල්ගත කිරීමට කටයුතු කර ඇතැයි පොලිසිය කියයි.

ඔහු මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කළ බවද අක්මීමන පොලිසිය සඳහන් කරයි.

විද්‍යාපීඨයේ නේවාසිකාගාරය තුළ ඊයේ (27) අලුයම 5.00ට පමණ ගැටුමක් ඇති වී තිබෙන බවට වාර්තා වූ බවත් පසුව තමන් නේවාසිකාගාරයට ගොස් පහරකෑමට ලක්වූ සිසුන් සමග කථාබස් කළ බවත් සීමාවාසික සිසුන් පිරිසක් පැමිණ ආරවුලක් ඇතිකරගත් බවට එම සිසුන් ප්‍රකාශ කළ බවත් නියෝජ්‍ය පීඨාධිපතිවරයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ. අක්මීමන පොලිසිය මේ සම්බන්ධයෙන් රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පීඨාධිපතිවරයාගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර අක්මීමන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.


ජේ.කේ.එල්. චාමින්ද