ranil-speaks

රටේ ආණ්ඩු පෙරළන්න එන විට හමුදාවට පැත්තකට වෙලා ඉන්න බැහැ. පාරට බැහැලා පන්සල්වල ස්වාමීන් වහන්සේලාට තර්ජනය කරන විට, සිවුරු ඇදගත්ත බට්ටො දාලා තර්ජනය කරන විට තමන් නිකන් ඉන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පැවිදි පුද්ගලයන් මේවට දමා රටේ කලබල කරන සෙල්ලම නතර කළ යුතු බව කී ජනාධිපතිවරයා පැවිද්දන්ට පැවිද්දන්ගේ වැඩ කටයුතු කරන්න කියන්නැයි ද තමා මෙවැනි දේ කරන්නට ඉඩ දෙන්නේ නැතැයි ද කීය.  ආරක්ෂක අමාත්‍යාංශය මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ තාක්ෂණ අමාත්‍යංශය වැය ශීර්ෂ විවාදයට ගත් ඊයේ (24) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

අරගලයට පින්සිදුවන්නේ ජනාධිපති පුටුවේ වාඩි වූ රනිල් වික්‍රමසිංහ අරගලය මර්දනය කරනවා යැයි විජිත හේරත් මහතා පවසා තිබුණා. ඒ අරගලයේ පින නොවේ. ජනාධිපති ගියොත් ඒ තනතුර ගන්න ඕන අගමැති. එහෙම නම් ඔබතුමාලා ගෝඨාභය රාජපක්ෂ බදාගෙන ඉන්න තිබුණා. එයා බදාගෙන හිටියා නම් මා ජනාධිපති නොවේ. අනෙක නීතියෙන් මා වැඩබලන අගමැති වෙන්න තිබුණා. මේකෙන් ඉවත්වන්නැයි මගේ ගෙදර පිච්චුවා. මම ඉවත් වුණේ නෑ. ඒකයි මම මෙතන ඉන්නෙ. මම මේක ඉල්ලුවා යැයි විපක්ෂනායක කිව්වා. මම ඉල්ලුවේ නෑ. රටේ තත්ත්වය නිසා මට කැඳවලා දුන්න අවස්ථාවේ මහානායක ස්වාමීන් වහන්සේලා කිව්ව නිසා බාරගත්තා.



මම ලියුම් ලිව්වේ නැ

නමුත් මැයි 12 වැනිදා ගෝඨාභයට එවපු ලියුම විපක්ෂ නායක තුමාට අමතක වී තිබෙනවා.   ඒකෙ තියෙන්නේ මෙහෙමයි. ගරු ජනාධිපතිතුමනි, විපක්ෂයේ ප්‍රධාන පක්ෂ හැටියට සමගි බල ජන සන්ධානයේ මූලිකත්වයෙන් අනෙකුත් පක්ෂ සමග එක්වී කෙටිකාලීන ආණ්ඩුවක් පිහිටුවීමට සමගි බල ජන සන්ධානයේ නායකයා ලෙස අග්‍රාමාත්‍ය ධුරය බාරගැනීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කරමි.

ඉතින් මෙහෙම ලියුම් ලියල මට බනින්නේ ඇයි?

ඒ වෙන කොට මම දිවුරුම් දීලා ඉවරයි. මං දන්නෙ නෑ මොකද මේක එව්වේ කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ගිහින් විපක්ෂ නායකතුමාගේ උපදෙස් ගත්තා. එය අවශ්‍ය නම් පක්ෂ ව්‍යවස්ථාවේ බලන්න පුළුවන්. විනය පරීක්ෂණයක් තියන්න පුළුවන්. මට බනින්න එපා.  නිශ්චිත අවම කාල රාමුවක් තුළ ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට එකඟවීම කියලා එතුමයි කිව්වේ. ඉතින් මම දිවුරුම් දීලා මාස දෙකකට පස්සේ එතුමා ඉවත් වුණා. මම අයින් වෙන්න කිව්වේ නෑ. ඔබතුමාලා කිව්වේ අයින් වෙන්න කියලා. ඉතින් මං මොනව කරන්නද? මම ඉන්න බව දැනගෙන මේකට දෙන්න එපා කියලා ඉන්න කියන්න තිබුනෙ. දැන් මට කරන්න දෙයක් නෑ. කොහොම හරි ඔය ලියුම කියවන්න කියලා මම කියන්න කැමතියි.

හමුදාවේ වියදම වැඩි වූ බව සමහරු කිව්වා. හමුදාවේ වියදම පැය විසි හතරෙන් කපන්න බැහැ. සමහරු කියන විදියට සේවකයෝ විසිපන්දාහක් පාරට දාන්න බැහැ.  අපි සැලැස්මක් හදාගෙන යනවා. ඒ අනුව ක්‍රියාත්මක කරන්නට තිබෙනවා. යුද හමුදාවට මේ සැරේ වැඩි වියදමක් දෙන්න තිබුණා. ඒක අපිට නවත්තගන්න බෑ. සංඛ්‍යාව අඩු වුණාට උසස් වීම් වැඩි වෙලා තිබෙනවා.  යුද්ධ හමුදාව ආහාර සුරක්ෂිතතා වැඩසටහන් සඳහා අප යොදවනවා. හමුදා ගොවිපලවලින් විශාල ශ්‍රමයක් එනවා. හමුදාවේ අනාගතය ගැන බලන්න ඕන. මෙය වෙනස් කළ යුතුව තිබෙනවා. අද තර්ජනයක් නැතැ යි ඉන්න බැහැ. ලෝකයේ තර්ජන වෙනස් වෙනවා. 71 තිබුණ තර්ජනය නොවෙයි අසූ ගණන්වල තිබුණේ. වෙනස් විදිහට තර්ජන එනවා. පාස්කු ඉරිදා සිදු වුන දේ බලන්න. ගෝලීය තත්ත්වය ගැන සැලකිලිමත් විය යුතුයි. සාගරය ගැන බැලිය යුතුව තිබෙනවා.


2030 වන විට නාවික හමුදාව වැඩි කළ යුතුයි. එවිට යුද්ධ හමුදාව අඩුවෙන්න පුළුවන්. 2040 වන විට මේ තත්ත්වය තවත් වෙනස් වෙනවා. මෙය ගෙන යන්නේ කොහොමද ඒ බැලිය යුතුයි. දියුණුවක් ඇති නොකර ආරක්ෂක වියදම පමණක් එකවර වැඩි කරන්න බැහැ. සිංගප්පූරුව මෙය දියුණු කළේ වසර ගණනාවක ඉලක්කයක් තබාගෙනයි. පරණ ක්‍රමයට ගිහින් මේවා අල්ලගෙන කරන්න බැහැ. අප අලුතින් සිතිය යුතුව තිබෙනවා.  බොහෝ දෙනෙක් අද වෘත්තීයවේදීන් පිටවී ගිහින් තිබෙනවා. ඒ හිඩැස පිරවිය හැක්කේ හමුදාවේ අය පුහුණු කර යැව්වොත් පමණයි. අලුතින් හමුදාව හැදිය යුතුයි. අලුතින් හිතන්න ඕන. ලංකාවේ යුද නැවක් නිෂ්පාදනය කරන්න ශක්තිය අපට තිබෙනවා. මුදල් සොයාගත යුතුයි.ඉදිරියේදී ඩ්‍රෝන ගන්න වේවි. බ්‍රිතාන්‍ය 2035 දක්වා සැලසුම් හදා තිබෙනවා. අප අලුතින් නීතියක් ගෙනෙනවා. ආරක්ෂක මණ්ඩලය අප නීතියෙන් ඇති කරනවා. ජාතික ආරක්ෂක ලේකම් කාර්යාලයක් ඇති කරනවා. එමෙන්ම ත්‍රිවිධ හමුදා කොමිටියක් පත් කරනවා. මේ සියල්ල සාකච්ඡා කොට සභාවට ගෙන එන්නම්. ඊට අදාළ නීති සියල්ල ඉදිරිපත් කරනවා. අලුත් හොඳ හමුදාවක් ලංකාවට ඇති කිරීම අපේ අරමුණයි. ඊට ශීඝ්‍රයෙන් දියුණු වන ආර්ථිකයක් අවශ්‍යයි.පොලිසිය පිළිබඳවත් අවධානය යොමු කර තිබෙනවා. ඊළඟ වසර 10 තුළ පොලිසිය දියුණු කරන ආකාරය පිළිබඳව අප වාර්තාවක්  ගන්නවා. පොලිස් ආඥා පනත දැන් කෞතුකාගාරයට යැවිය යුතුයි. අප අලුත් එකක් සෑදිය යුතුව තිබෙනවා. මත්ද්‍රව්‍ය ගැන, පිටරට මිනිසුන් පැටවීම පිළිබඳ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. සියල්ල රැකගෙන ක්‍රියා කළ යුතුයි.



යුද හමුදාවට ස්තුතිය

මේ වසර බැලුවොත් යුද හමුදාවට ස්තුති කරනවා. පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න පැමිණි බලඇණි වලට ස්තූතිවන්ත වෙනවා. ඒ බලඇණි නොතිබුණා නම් මේ රටේ පාර්ලිමේන්තුවක් නැහැ. මෙහෙම වාඩි වෙලා කතා කරන්න තැනක් නැහැ. සාකච්ඡා කරන්න බැරි වෙනවා. ව්‍යවස්ථාවේ තුන්වැනි වගන්තියේ කියලා තිබෙන්නේ මේ රටේ ජනතා පරමාධිපත්‍යය අයිති ජනතාවට බවයි. එය ක්‍රියාත්මක කරන ආකාරයක් තිබෙනවා. ව්‍යවස්ථාදායක බලය, විධායක බලය, අධිකරණ බලය ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. ඊළඟට මූලික අයිතිවාසිකම් තිබෙනවා. ඒ සමගම ජනතාවට සෘජුව එක අවස්ථාවකට සහභාගී වෙන්න පුළුවන්. ඒ ජනමත විචාරණයටයි. කාටවත් පාරට බැහැලා නටන්න බැහැ. එහෙම ඉඩක් නැහැ. ප්‍රචණ්ඩ ක්‍රියා යොදවන්න ඉඩක් නැහැ. හමුදාවට තිබෙන්නේ මෙය ආරක්ෂා කිරීමයි. මේ රටේ ආණ්ඩු පෙරළන්න එන විට හමුදාවට පැත්තට වෙලා ඉන්න බැහැ. පාරට බැහැලා පන්සල්වල ස්වාමීන් වහන්සේලාට තර්ජනය කරන විට සිවුරු ඇඳගත්ත බට්ටො දාලා තර්ජනය කරන විට අප නිකන් ඉන්නේ නැහැ. මහනායක හිමිවරුන්ට තර්ජනය කරන විට නිකන් ඉන්නේ නැහැ. හමුදාවට යුතුකමක් තිබෙනවා ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය අනුව ඒවා නවත්තන්න.

ඒවා කරන්න බැහැ. ඒවට ඉඩ දෙන්න බැහැ. පැවිදි පුද්ගලයන් මේවට දාලා රටේ කලබල කරන මේ සෙල්ලම නවත්තන්න ඕන. පැවිද්දන්ට පැවිද්දන්ගේ වැඩ කටයුතු කරන්න කියන්න. අපේ සංඝයා වහන්සේට. මෙහෙම ගෙනල්ලා කොහොමද කරන්නේ. අපි ඉඩ දෙනවද? මම නම් මේවට ඉඩ දෙන්න කැමති නැහැ. ගිහි අය කරන එක වෙන එකක්. මේවා කරන්න බැහැ. අනෙක මම කියන්න කැමැතියි කිසිම විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු අත්අඩංගුවේ නැහැ. මම දන්නේ අනිත් ඒව ගැන. මම කතා කරන්නේ මේවා පිළිබඳවයි.


මුදලිගේ අවුරුදු 8ක් විශ්වවිද්‍යාලයේ

එමුදලිගේ දැන් අවුරුදු අටක් ද නවයක් ද විශ්වවිද්‍යාලයේ. මේක හරි වැඩක් නේ. මම විශ්වවිද්‍යාලයෙන් පිටවුණේ අවුරුදු විසි එකෙන්. එයා 31 වන තුරුත් ඉන්නවා. තමන්ට ඕන්නම් අවුරුද්දක් දෙන්න පුළුවන්, ඊට පස්සේ විශ්ව විද්‍යාලයෙන් යන්න ඕන. එච්චරයි කරන්න තියෙන්නේ.  මේවා ඔක්කොම කරන්නේ අරගලයට ජනතාවට කියලා කියන්න බෑ. මම එකක් කියන්නම්. මම ඒක කෙලින් කියනවා. මොකද මටත් ඕන මානව හිමිකම් ආරක්ෂා කරන්න. අරාජිකත්වය හෝ ප්‍රචණ්ඩත්වයට මානව හිමිකම් වලට ඇතුල් වන්නේ නැහැ. ඒව මානව හිමිකම්වලට සම්පූර්ණයෙන් විරුද්ධයි. මානව හිමිකම් යොදාගෙන ප්‍රචණ්ඩත්වය අරාජිකත්වය ඇති කරන්න බැහැ. මානව හිමිකම් කියලා ප්‍රචණ්ඩ ක්‍රියා කරපු අය ආරක්ෂා කරන්නත් බෑ.

14 වැනි වගන්තියේ අපේ මූලික අයිතිවාසිකම් තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කළ හැක්කේ රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම, නීතියෙන් නියම කළ සීමාවලට, මහජන ආරක්ෂාව සඳහා, ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම, මූලික අයිතිවාසිකම් භුක්ති විඳීම, මේ ඔක්කොම ව්‍යවස්ථාවේ තිබෙනවා. ඒවාට සීමා තිබෙනවා. සීමාවලට පිට යන්න බැහැ. අපි තමයි මිනිස් අයිතිවාසිකම් රැක්කේ කියලා සමහරු කියනවා. ඒ අය කරන්නේ මානව හිමිකම් ඩිපෙන්ඩර් කියලා පිටරටින් සල්ලි අරගෙන ජීවත් වීමයි.  මම මේ අය දන්නවා. මේ අය සමඟ වැඩ කර තිබෙනවා. මමයි අය ආරක්ෂා කළේ. මටයි දැන් කෑගහන්නෙ.

පාර්ලිමේන්තුව විසුරුවන්නේ නෑ

අපට මේ රටේ අවුලක් ඇති කරන්න ඉඩ දෙන්න බෑ. නීතිය යටතේ ඕන දෙයක් කරන්න. මම පාර්ලිමේන්තුව කල් දමන්නේ නැහැ. එය කරන්න බැහැ. උවමනාවකුත් නැහැ. පාරේ කෑ ගැහුව කියල මම නිකන් පාර්ලිමේන්තුව විසුරවන්න යන්නේ නැහැ. අද බහුතරය කෑගහන අය නොවේ. බහුතරය නිශ්ශබ්ද වූ අයයි. ඒ නිශ්ශබ්ද වූ අයට ජීවිතය ගෙන යන්න, අයිතිවාසිකම් ලබන්න අයිතිය තිබෙනවා. හිමිකම් තිබෙනවා. ඒ හිමිකම් අනුව තමයි ක්‍රියා කරන්නට තිබෙන්නේ. මානව හිමිකම් අරගෙන පොලිසියේ ඔක්කොම හිර කරන්න හදනවා. පොලිසිය මානව හිමිකම් උල්ලංඝනය කරලා තිබෙනවා. එය නෑ නොවේ. පොඩි හොරකම් නිසා පොලිසියේ දී ගහනවා. ඒවට නඩු දාලා තීන්දු දෙනවා නම් අප ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නම්. ඒත් මෙතන කරන්නේ හදිසි අවස්ථා ඇති කරලා කලබල ඇති කරලා පොලිසිය ඒක නවත්තන්න ගියාම ඒ අයට විරුද්ධව මානව හිමිකම් දානවා. ඒක කරන්නේ පොලිසිය ක්‍රියා කරන එක නවත්වන්න. ම

ේ ගැන බලන්නැයි නීතිපතිට කියා තිබෙනවා. මෙහෙම කරනවා නම් අප 15 වගන්තිය යටතේ නීති ගෙන ආ යුතුයි. මේ සෙල්ලම කරන්න බෑ.

හමුදාව පොලිසිය ඒ අයට ඔක්කොම ආරක්ෂා කරන්න ඕන. මගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා මානව හිමිකම් දමා ඉවත් කරන්න බැලුවා. මගේ ගෙදර ගිනි තබා ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ඉවත් කරන්න බැලුවා. මගේ ගෙදර ගිනි තබන්න ක්‍රියා කළේ එක්තරා විද්‍යුත් මාධ්‍ය නාලිකාවක්. (නම සඳහන් කරයි) ඊට පස්සේ මොකක් ද කළේ. මමයි ගිහින් ඒ අයට විරුද්ධව ක්‍රියා කරන්න ඕන. මේ අය ගිහින් මානව හිමිකම් කොමිසමට කියනවා මගේ ප්‍රධාන ආරක්ෂක අධ්‍යක්ෂ ඉවත් කරන්න කියලා. මොකක්ද එයා කරපු වරද? ඒ අනුව එම මාධ්‍ය නාලිකාවට අවශ්‍යතාවය තිබුණා මගේ ආරක්ෂක ප්‍රධානියා ඉවත් කරන්න. එයා එතැනට සම්බන්ධ වුණේ නැහැ. අපේ ඉන්න අයගේ නම් අහනවා. මානව හිමිකමත් දැනගන්න ඕන ගිහිල්ලා මේ වැඩ කටයුතුවලට ඇඟිලි ගහන්නේ නැතුව ඉන්න.

ඊයෙ මම හරියට නම් කළේ නැති නිසා තමයි වුනේ. මම අදාළ කතාව කළ පසු අදාළ මාධ්‍ය ආයතනය මට ගහන්න හත් දෙනෙක් දැම්මා. දුමින්ද නාගමුව, විදර්ශන කන්නන්ගර, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ගෙන්වා ගත්තා. මට බනින්න කලින් නවක වදයට විරුද්ධ ශිෂ්‍යයන් ආරක්ෂා කරලා දෙන්න. මමත් දන්නවා නිර්මාල් හොඳට. ඉතින් මේ සෙල්ලම ගෙනියන්න එපා. අපට ආණ්ඩුවක් මෙන්ම විපක්ෂයකුත් ඕන. අපි එකතුවෙලා මේ ප්‍රශ්නය විසඳමු. පාරට බැහැලා ආපහු ආණ්ඩු පෙරළන්නැයි මිනිස්සුන්ට කියන්න බැහැ. එහෙම අවස්ථාවක් වුනොත් සේවය කරන හැම නිලධාරියෙක් ම ආණ්ඩුව ආරක්ෂා කරන්න ඕන. යට ඉන්න කෝප්‍රල්ගේ සිට උඩම ඉන්න ෆීල්ඩ් මාර්ෂල් දක්වා සියලු දෙනා එකතු වී මේ ආයතන ආරක්ෂා කරන්න ඕන. ඒකයි අප කරන්න ඉන්නේ.


අංජුල මහික වීරරත්න