78-goods-import

භාණ්ඩ 78ක ආනයන තහනම ඊයේ (24දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පෙන්වා දෙන්නේ සංචාරක සහ කර්මාන්ත යන ක්ෂේත්‍රවල  ප්‍රවර්ධනය උදෙසා අවශ්‍ය වන භාණ්ඩ රැසක් ඒ අතර වන බවයි.

ශීතකරණ, අධි ශීතකරණ, වායුසමීකරණ, ඇඟලුම්, සෙරමික් භාණ්ඩ, ටයිල්, රෙදි සෝදන යන්ත්‍ර, ගුවන්විදුලි යන්ත්‍ර, වෝටර් හීටර්, සුවඳ විලවුන්, බ්‍රේක් ලයිනර් සහ බ්‍රේක් පෑඩ්ස් ඒ අතර වෙයි. භාණ්ඩ වර්ග 78ක ආනයන තහනම මෙසේ ලිහිල් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.
මෙලෙස ආනයන සීමා ඉවත් කළ භාණ්ඩ වර්ග අතුරින් 15ක් සඳහා ඒ ක්ෂේත්‍රවල බලධාරීන්ගේ නිර්දේශ මත ආනයන අපනයන පාලකගේ අනුමැතිය යටතේ ආනයනය කිරීමට අවසර හිමිව තිබේ. ඒ අතරට රූපලාවණ්‍ය උපකරණ, සුවඳ විලවුන්, දන්ත සෞඛ්‍ය උපකරණ ඇතුළත් වේ. මේවා ආනයනය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාගේ හෝ සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හෝ නිර්දේශය අවශ්‍ය වේ. මීට අමතරව, සූස්, බ්‍රීෆ් කේස්, පසුම්බි, ප්ලාස්ටික් ෂීට්, කුඩ, සැරයටි, පිහිනුම් පුවරු, හිසකෙස් හා විග්, ඉමිටේෂන් ආභරණ, ඉබි යතුරු, රූපවාහිනී ඇන්ටෙනා, ට්‍රේලර්ස් සහ සෙමි ට්‍රේලර්ස්, වාහන ආසන, විදුලි පහන්, ඉලියුමිනේටඩ් සයින්ස්, ක්‍රීඩා භාණ්ඩ, ෂේවින්ග් ක්‍රීම්, ආෆ්ටර් ෂේව්, ඩියොඩ්‍රන්ට් ආදී භාණ්ඩ සඳහාද පනවා තිබූ ආනයන තහනමද ඉවත් කර ඇත.

ඒ අනුව, බලපත්‍රලාභී බැංකුවලට  අදාළ භාණ්ඩ නැව්ගත කිරීමේ ලේඛන මුදා හැරීමට සහ අදාළ භාණ්ඩ සඳහා ගෙවීම් ක්‍රියාත්මක කිරීමට මෙම ගැසට් පත්‍රය මගින් බලය පවරා තිබේ.

පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් පසුගිය අගෝස්තු මස 23දා සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ එච්.එස්. කේත 1,468කට අයත් භාණ්ඩ ආනයනය අත්හිටුවීමට රජය කටයුතු කළ අතර, අනතුරුව විවිධ පාර්ශ්වවලින් ලද සාධාරණ ඉල්ලීම් සලකා බලා සැප්තැම්බර් මස 09දා ඉන් භාණ්ඩ 708ක ආනයන තහනම ඉවත් කිරීමට රජය පියවර ගත් බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.


(ෂමිල පෙරේරා)