korean-homagama

මුදල් ආරවුලක් සම්බන්ධයෙන් වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සිදුවූ පහරදීමකින් තුවාල ලැබූ කොරියා ජාතිකයකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව කොට්ටාව පොලිසිය පවසයි.  මෙසේ තුවාල ලබා ඇත්තේ කොරියාවේ සිට මෙරටට පැමිණ මත්ස්‍ය අපනයන ආයතනයක සේවය කළ 63 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා මීගමුව ප්‍රදේශයේ මත්ස්‍ය අපනයනය කරන ආයතනයක් හා සම්බන්ධව සිටින අතරතුරදී මීට මාසයකට පමණ පෙර කොට්ටාව මිල්ලගහවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු හා මිතුරු වී ඔහුගේ නිවසට පැමිණ වාසය කර ඇතැයිද පැවසේ.

ඒ කාලය තුළදී කොරියා ජාතිකයා සමග විවිධ ප්‍රදේශවල ගමන් කරමින් ඔහුගේ භාෂා පරිවර්තකයා ලෙස ද මෙරට මිතුරා කටයුතු කර ඇති බව පොලීසිය කියයි. මේ අතරතුරදී විදේශිකයා හරහා විවිධ පුද්ගලයන් කොරියාවේ රැකියාවලට යවන බව පවසා මුදල් ලබා ගෙන ඇති බවත්, එම මුදල් තමාටත් ලබා දෙන බව පවසමින් දෙදෙනා අතර ඉකුත් (26) දා සවස බහින්බස් වීමක් සිදුව ඇතැයිද පොලිසිය පවසයි.

එම බහින්බස් වීම ගැටුමක් දක්වා දුරදිග ගොස් කළ පහරදීමකින් තුවාල ලැබූ විදේශිකයා හෝමාගම මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ඇති අතර ඔහුගේ තත්ත්වය සාමාන්‍ය බව පොලීසිය කියයි.