sell-the-profitable-government-institutions

පාඩු ලබන රාජ්‍ය ආයතන පනහකට අධික ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගත කරන බව පවසමින්, විකුණා දැමීමට සැලසුම් කර තිබෙන බවට වෘත්තීය සමිති හා බහුජන සංවිධාන මේ වන විට ආණ්ඩුවට චෝදනා කරමින් තිබේ. මෙම කටයුත්ත සිදුනොකරන ලෙස ඉල්ලා හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්, ලබන මස 08වන දින ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කර, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවටත් වෘත්තීය සමිති මේ වන විට ප්‍රකාශ කර තිබේ. පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවටත් පත්කිරීමට වැඩපිළිවෙළක් සකස් කළයුතු බවට පසුගිය කාලය පුරාම රට තුළ විශාල කතාබහක් ඇතිවී තිබුණි.




මෙවැනි කටයුත්තක් සිදුකිරීම සදහා පෙරමුණ ගත යුත්තේ රටේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා පුමුඛ ආණ්ඩු හා පාර්ලිමේන්තුව විසිනි. එහෙත් ගෙවී ගිය කාලය පුරා කිසිදු අවස්ථාවක මෙවැනි වැඩපිළිවෙළක් සකස් කිරීමට හෝ පවතින ආණ්ඩුව හෝ පැවැති ආණ්ඩු උත්සාහයක් ගත්තේ නැත. ගෙවී ගිය කාලය පුරාම සිදුකරනු ලැබුවේ පාඩු ලබන ආයතන දියුණු කිරීමට බව සඳහන් කරමින් ලාභ ලබන රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට විකුණා දැමීමට කටයුතු කිරීම පමණි. මේ නිසා පාඩු ලබන රාජ්‍ය ආයතන තවදුරටත් රටට බරක් වෙමින් තිබෙන අතර, මේ නිසා සිදුකළ යුත්තේ එම ආයතන දියුණු කිරීමට වැඩපිළිවෙළක් සකස් කිරීමය.


යම් රාජ්‍ය ආයතනයක් පාඩු ලබනවා නම්, එහි වගකීම මේ රටේ පාලකයන්, දේශපාලනඥයන් භාර ගත යුතු වන අතර, මේ රට තුළ පවතින සෑම රාජ්‍ය ආයතනයක්ම අමාත්‍යවරයෙකු යටතේ හෝ ජනාධිපති, අගමැති යන තනතුරු යටතේ පාලනය වේ. මෙවර අයවැය තුළින්ද පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුගත කිරීම සදහා යෝජනා ඉදිරිපත් කර තිබෙන අතර, මෙම යෝජනාවට අනුව අධික ලෙස ලාභ ලබන රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් ආයතනය, රජය සතු  හෝටල් කිහිපයක් හා ජනතාවට සේවය සපයන දුම්රිය දෙපාර්තමේන්තුව, තෙල් සංස්ථාව වැනි ආයතන ගණනාවක කොටස් පෞද්ගලික අංශය වෙත ලබාදීමට කතාබහක් ඇතිවී තිබේ. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සැලකීමේදී 2003 වසරේදීත් රක්ෂණ සංස්ථාව විකුණා දැමීම සදහා ලංසු කැදවූ අතර,

මෙයට සේවකයන් දැඩි විරෝධයක් එල්ල කරනු ලැබිණි. එම විරෝධතා නොතකා රුපියල් බිලියන හයකට රක්ෂණ සංස්ථාව විකුණා දැමූ අතර, ඉන්පසුව 2009 වසරේදී නැවතත් රක්ෂණ සංස්ථාව රජය සතු කරගෙන තිබේ. 1956 වසරේදී බලයට පත් බණ්ඩාරනායක අගමැතිතුමා විසින් පෞද්ගලික ව්‍යපාර රැසක් නස්තු කිරීම යටතේ රක්ෂණ සංස්ථාව ජනසතු කරනු ලැබිණි. රක්ෂණ සංස්ථාව ගෙවී ගිය වසර පහක කාලය තුළදී පමණක් රුපියල් බිලියන 32ක ලාභයක් ලබාගෙන තිබෙන අතර, රාජ්‍ය ආයතන ගණනාවක කොටස් මිලදි ගෙන විශාල වත්කම් ප්‍රමාණයක්ද සතු කරගෙන සිටී. ටෙලිකොම් ආයතනය පිළිබඳව සලකා බැලීමේදී මීට පෙර අවස්ථාවකදීත් ප්‍රතිව්‍යුහගත කර තිබෙන අතර, මේ අනුව අදාළ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයන් 05දෙනා සැලකීමේදී දෙදෙනෙකු විදේශීය ජාතික වන අතර, ඉතිරි තිදෙනා මෙරට පුරවැසියන් වේ. මෙම ආයතනය 2020 වසරේදී රුපියල් මිලියන 4019ක් හා පසුගිය වසරේදී රුපියල් මිලියන 5,865ක්ද, මේ වසරේ ගෙවී ගිය මාස 09ක කාලය තුළදී රුපියල් මිලියන 9329ක ලාභයක් ලබා තිබෙන බව ටෙලිකොම් ආයතනයේ වෘත්තීය සමිති පෙන්වා දෙයි.මේ අනුව බලන කල මෙම ආයතන දෙක පාඩු නොලබන ආයතන බවට පැහැදිලිවම පෙනී යන අතර, මෙම ආයතන මහා භාණ්ඩාගාරයට කිසිදු බරක් නොවේ.




සිදුවෙමින් තිබෙන්නේ මෙම ආයතන දෙක වාර්ෂිකව රජයට විශාල බදු ප්‍රමාණයක් ගෙවීමය. දුම්රිය දෙපාර්තමේන්තුවත් ප්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම් කර තිබෙන බවට සේවකයන්, වෘත්තීය සමිති ආණ්ඩුවට චෝදනා එල්ලකරමින් තිබේ. මෙම ආයතනය මහා භාණ්ඩාගාරයේ මුදල් මත යැපෙන ආයතනයක් වන අතර, දුම්රිය සේවාව යනු රටේ ජනතාවට ප්‍රවාහන පහසුකම් සපයන, භාණ්ඩ ප්‍රවාහන කටයුතු සදහා දායකත්වය දක්වන ආයතනයක් නිසා මෙම ආයතනයේ ලාභ පාඩු බැලීමට කිසිවෙකුටත් නොහැක. එහෙත් අදාළ ආයතනය පවත්වාගෙන යාම සඳහා මුදල් උපයාගත යුතු අතර, ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබෙන ගොඩනැගිලි, ඉඩම් බදු ලබා දී නිසි ලෙස බදු අයකර ගැනීම තුළින් අදාළ කටයුතු කළ හැකි බවට දුම්රිය දෙපාර්තමේන්තු වෘත්තීය සමිති සඳහන් කරයි. අද වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රවේශපත් අලෙවි කිරීමේ කටයුතුවලින් කොටසක් පෞද්ගලික අංශයට ලබා දී තිබෙන අතර, මේ නිසා යම් ආදායමක් දෙපාර්තමේන්තුවට අහිමි වී තිබේ.


මීට අමතරව දෙපාර්තමේන්තුව සතු ගොඩනැගිලි හා ඉඩම්වලින් යම් ප්‍රමාණයක් බදු ලබා දී තිබුණත්, අදාළ ආයතනවලින් නිසි ලෙස බදු එකතු කර නොගන්නා බවටත් වෘත්තීය සමිති පෙන්වා දෙයි. දුම්රිය දෙපාර්තමේන්තුව යනු විශාල කාර්යභාරයක් සිදුවන ආයතනයක් වන අතර, මේ අනුව මාර්ග නඩත්තුව හා සංඥා නඩත්තුවට විශාල සේවක සංඛ්‍යාවක් සේම විශාල මුදලක් වැය වේ. මීට අමතරව සුවිශේෂී තාක්ෂණික කාරණ ගණනාවක් සිදුවන ආයතනයක් වේ. මේ අනුව අදාළ ආයතනයේ කොටස් පෞද්ගලික අංශයට විකුණා දැමුවත්, කොටස් මිලදී ගන්නා ආයතනය මාර්ග නඩත්තු හා සංඥා කඩත්තු සිදුකරනවා යැයි සිතිය නොහැක. එනම් කොටස් විකිණීම යටතේ විකුණා දැමීමට සිදුවන්නේ දුම්රියන් වන අතර, දුම්රිය ධාවන කටයුතු පෞද්ගලික අංශය සතු වුවහොත් මුලින්ම සිදුවන්නේ ගාස්තුව ඉහළ යාමය. 1977ට පෙර මේ රටේ බස් රථ සේවයේ සියලුම වගකීම දරනු ලැබුවේ ලංගමය විසින් වන අතර, ඒ අනුව ජනතාවට සාධාරණ මුදලකට ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට හැකියාව ලැබිණි.




ඉන්පසුව ජනතාවට ගුණාත්මක හා ප්‍රමාණාත්මක ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා බස් රථ ධාවනයට පෞද්ගලික අංශයටත් අවස්ථාවක් ලබාදුන් අතර, මේ අනුව අද වන විට බස් රථ ගාස්තුව හා බස් රථ ධාවනය පිළිබඳව සියලුම තීන්දු තීරණ ගනු ලබන්නේ පෞද්ගලික බස් රථවලිනි. ප්‍රවාහන සේවය නියාමනය කිරීම සඳහා මධ්‍යම රජය යටතේ හා පළාත් සභා යටතේ ආයතන ස්ථාපිත කර තිබුණද, පෞද්ගලික බස් රථ සංගම් මෙම ආයතනවලට වඩා ප්‍රබල වී තිබෙන අතර, පවතින තත්ත්වය තුළ ලංගම දිනෙන් දිනම අඩාළ වෙමින් තිබේ. ඛනිජතෙල් සංස්ථාව රටේ ඉන්ධන බෙදාහැරීම සිදුකරන අතර, ඉන්ධන මිල මේ ආකාරයට හෝ පාලනය වී තිඛෙන්නේ රජය සතුව එම ආයතනය පැවතීම නිසාය. තවද විදුලි බල මණ්ඩලයත් රජය විසින් පාලනය කරන ආයතනයක් වන අතර, ඉන්ධන, විදුලිය රටේ ජාතික ආරක්ෂාවට ඉතාමත් වැදගත් ආයතන වන නිසා, ඒවා රජයේ පාලනය යටතේ සිදුවිය යුතුය. පාඩු ලබන ආයතන පෞද්ගලික අංශයට පැවැරීමට කටයුතු කරන බවට ආණ්ඩු සඳහන් කළත්, පාඩු ලබන ආයතනයක් ලබාගැනීමට කිසිදු ව්‍යපාරිකයෙකු හෝ ආයතනයක් කටයුතු කරන්නේ නැත. මේ නිසා ආණ්ඩුවට  සිදුවන්නේ ලාභ ලබන ආයතන ටික විකුණා දැමීමටය.


මේ වසරේ ඇතිවන අයවැය හිඟය පියවා ගැනීමට මෙම ආයතන ටික විකුණා දමා හෝ කොටස් පෞද්ගලික අංශයට පවරා හැකියාව ලැබුණද, ලබන වසරේ ඇතිවන හිඟය පියවා ගැනීමට විකුණා දමන්නේ කුමක්ද යන්න මේ රටේ පාලකයන්ගෙන් විමසිය යුතුය. ලෝකයේ බොහෝ රටවල් විවෘත ආර්ථික ක්‍රමය තම රටේ දේශීය කර්මාන්ත වැඩිදියුණු කිරීමට හා තමන්ගේ රටේ නොමැති දේවල් නිෂ්පාදනයට ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහා යොදාගනු ලැබුවද, අපේ රටේ සිදුවී තිබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. අප රට තුළ විවෘත ආර්ථික ක්‍රමය ස්ථාපිත වීමත් සමග සිදුවූයේ රටේ පැවැති බොහෝ සම්පත් බහුජාතික සමාගම් වෙත පැවරීමය. එම සම්පත් අතර පොහොර නිෂ්පාදනය, රෙදි නිෂ්පාදනය, කෘෂි රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය ඇතුළු නිෂ්පාදන රාශියක් රටට අහිමි විය. මේ නිසා දේශීය වශයෙන් රට තුළ නිෂ්පාදනය වූ බොහෝ භාණ්ඩ රට තුළට විදේශ රටවලින් ගෙන්වා ගැනීමට සිදු වී තිබෙන අතර, වර්තමානයේ ඇතිවී තිබෙන ඩොලර් අර්බුදය නිසා විදේශ රටවලින් භාණ්ඩ ගෙන්වීමත් මේ වන විට සිමා වී ඇත. මේ නිසා රටට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ පවා ගෙන්වා ගැනීමට රට තුළ ඉතිරි වී තිඛෙන සම්පත් විකුණා දැමීමට සිදුවී තිබෙන අතර, අපනයන ආදායම් ඉහළ දැමීමට වර්තමාන පාලකයන් සේම මීට පෙර සිටි පාලකයන්ද කිසිදු වැඩපිළිවෙළක් සකස් කළේ නැත.


(ඉන්දික හේවාවිතාරණ)