saree-teacher-protest

දිවුලපිටිය ප්‍රදේශයේ පිහිටි රජයේ පාසලක පළමු වැනි ශ්‍රේණියේ පන්තිවලට උගන්වන ගුරුවරියක මීට පෙර දිනක සාරියක් වෙනුවට වෙනත් ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට විරෝධය පළ කරමින් මවුපියන් පිරිසක් ඊයේ 28 උදේ හූ හඬ නගා අසභ්‍ය වචනයෙන් බැන වැදී පාසල ඉදිරිපිට දී උද්ඝෝෂණයක් සිදු කළ බව කියමින් එම ගුරුවරිය පැමිණිල්ලක් කර ඇතැයි දිවුලපිටිය පොලිසිය පවසයි.

මවුපියන්  පිරිසක් මෙවැන්නක් කළේ විදුහල්පතිවරයාගේ කීම මත බවට එම ගුරුවරිය කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි පොලිස් නිලධාරියෙක් යට පැවැසීය. උද්ඝෝෂණය කළ මවුපියන්ට ද එරෙහිව මෙම පැමිණිල්ල කර ඇතැයි පොලිසිය පවසයි.

මෙම ගුරුවරිය පසුගිය 21 වැනිදා සාරිය වෙනුවට වෙනත් ඇඳුමකින් සැරසී පාසලට පැමිණ ඇතැයි කියති.  මේ බව දුටු අදාළ විදුහලේ විදුහල්පතිවරයා ඇයට ඉගැන්වීමට ඉඩ ලබා නොදී පසුව ඒ සඳහා අවස්ථාව ලබා දී ඇතැයි පොලීසිය සඳහන් කරයි.  මෙම සිදුවීමෙන් පසු ගුරුවරිය දින දෙකක කාලයක් නිවාඩු දමා 24 සහ 25 යන දෙදින තුළ සාරියකින් සැරසී පාසලට පැමිණ ඇතැයි ද එම පොලිස් නිලධාරියා කීය.මෙම ගුරුවරිය ඊයේ උදේ පාසලට පැමිණි අවස්ථාවේ පාසල ඉදිරිපිට රැස්ව සිටි මවුපියන් පිරිසක් ඇයට හූ හඬ තියා අසභ්‍ය වචනයෙන් බැණ වැදී විරෝධතාවයක් පැවැත්වූ බව කියමින් ඇය පැමිණිල්ලක් දිවුලපිටිය පොලිසියට සිදු කරනු ලැබුවාය.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය