kesbewa-incident

තම දියණියන් දෙදෙනෙකු හා පුත්‍රයා අපයෝජනය කිරීම සම්බන්ධයෙන් මත්තේගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර තිදරු පියා ඇප මත මුදාහැරීමට ඊයේ (29දා) නියෝග කළ කැස්බෑව මහේස්ත්‍රාත්වරයා, අගතියට පත් දරුවන් තිදෙනා පියාගේ භාරයෙන් ඉවත් කොට ගාල්ල වඳුරඹ ප්‍රදේශයේ පදිංචි දරුවන්ගේ මවගේ ඥාති කාන්තාවකට භාරදීමට කැස්බෑව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. සැකකාර තිදරු පියා මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කරන ලෙසත්, දරුවන් වාසය කරන පරිශ්‍රයට ඇතුළුවීමට  සැකකරුට තහනම් කිරීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.



මෙලෙස ඇප නියම වූයේ, හෝමාගම, දීපංගොඩ, සමගි මාවතේ පදිංචි 47 හැවිරිදි තිදරු පියෙකුටය. හෝමාගම දීපංගොඩ ප්‍රදේශයේ නිවසක දියණියන් දෙදෙනෙකු හා බාල වයස්කාර පුතෙකු වසර කිහිපයක සිට වරින්වර බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ බව පැවසෙන සැකකාර පියා පෙරේදා (28දා) අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලීසිය පවසයි. මෙම පුද්ගලයාගේ බිරිඳ මීට වසර දහයකට පමණ පෙර දරුවන් හැර යාම නිසා වයස අවුරුදු 13 පුතා, 16 බාල දියණිය හා 24 වැඩිමහල් දියණිය එකම නිවසේ වාසය කර ඇති බවත්, වැඩිමහල් දියණිය වයස අවුරුදු 11ක සිට 18 දක්වා කාලය තුළ අපයෝජනයට ලක්කර ඇති අතර, 13 හැවිරිදි පුත්‍රයාවද අපයෝජනයට ලක්කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය විය.

මේ අතරතුරදී නිරන්තරයෙන්ම අවුරුදු 16 දියණියට සැකකරුගෙන් සිදුවන අපයෝජන සම්බන්ධයෙන් ළමා ආරක්ෂක අධිකාරියට කරන ලද පැමිණිල්ලකට අනුව මත්තේගොඩ පොලීසියට දැනුම්දී, ඒ අනුව එහි නිලධාරී කණ්ඩායමක් නිවෙසට ගොස් එහි දරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී සිද්ධිය අනාවරණය වීමත් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී අනාවරණය වූ කරුණු අනුව සැකකරු වසර දෙකක් විදේශගතව සිටියදී තමාගේ වැඩිමල් දියණිය ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවට ලද ආරංචියකට අනුව මෙරටට පැමිණීමෙන් පසුව ඒ බව පරික්ෂා කිරීමට යැයි පවසා වැඩිමල් දියණිය අපයෝජනයට පොලඹවාගෙන ඇති බවත්,



අවුරුදු හතක් තිස්සේ විටින් විට මෙසේ අපයෝජනයට ලක්ව ඇති බවත් හෙළිවී තිබේ. ඒ අනුව වැඩිමහල් දියණිය වයසින් මුහුකුරා යාමත් සමඟ නිවසේ වාසය කළ බාල දියණිය සහ පුතණුවන්ද අපයෝජනයට ලක් කළ බවත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ. සැකකරු හා අපයෝජනයට ලක්වූ බව පැවසෙන දැරියන් දෙදෙනා සහ දරුවා කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ අතර, එහිදී අනාවරණය වී ඇත්තේ දරුවන් තිදෙනා බරපතළ දූෂණයකට ලක්ව නොමැති බවයි.

( මත්තේගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න )