panadura-lollipop

නිෂ්පාදිත රටක්, දිනයක්, සමාගමක්, අඩංගු ද්‍රව්‍ය හෝ කල් ඉකුත් වන දිනයක් සඳහන්ව නොමැති මත්වන බවට සැකකරන ලොසින්ජර් සහ ලොලිපොප් තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු පෙරේදා (28දා) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලීසිය පවසයි. සැකකරුවන් පානදුර, සරික්කම්මුල්ල සහ නල්ලූරුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. පානදුර වලාන ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට පවත්වාගෙන ගිය වෙළෙඳ සැලක් වටලා කුඩා බෝතල් 60ක පමණ ඇසුරුම් කර තිබූ ලොසින්ජර් 4,000ක් සහ ලොලිපොප් 55ක් සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

දරුවන් ලොසින්ජර් සහ ලොලිපොප්වලට ඇබ්බැහිවී ඇති බවට  දෙමවුපියන් පිරිසක් කල දැනුම් දීමකට අනුව වැටලීම සිදුකර ඇත. සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මෙම මත්ද්‍රව්‍ය රජ්යේ රස පරීක්ෂක වෙත යොමුකර වාර්තාවක් ලබාගැනීමට නියමිත බවද පොලීසිය කීය.  සිද්ධිය සම්බන්ධයෙන් කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පානදුර උතුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

( පානදුර - සුමිත් පොතුපිටිය)