horana-gungamuwa-school

හොරණ, මිල්ලනිය ගුන්ගමුව කනිෂ්ඨ විදුහලේ පහ වසරේ සිසුන් තිදෙනෙකුට විදුහල්පතිනිය සහ ගුරුවරියක පොලිසිය ලවා අමානුෂික අන්දමින් පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා දෙමවුපියන් සහ සිසු සිසුවියන් විශාල පිරිසක් එම විද්‍යාලය ඉදිරිපිට ඊයේ (07දා) උද්ඝෝෂණයක නිරත වූහ.
සිසු සිසුවියන් දෙසීයක් පමණ පාසලේ ඉගෙනුම ලබන මෙම පාසලේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් දැනටමත් අරඹා තිබේ.

මේ සිද්ධිය වී ඇතැයි පැවසෙන්නේ ඉකුත් 2 වැනිදා දිනයේ දීය. පාසල් ගුරුවරියකගේ මුදල් පසුම්බියක් නැතිවී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම විදුහලේ පස්වෙනි වසරේ දරුවන් දොළොස් දෙනකු විදුහලේ පුස්තකාල කාමරයේ රදවා සිද්ධිය ගැන විමසමින් පහර දී ඇති බවත් එසේ පහර දීමෙන් අනතුරුව විදුහල්පතිවරිය මිල්ලනිය පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතනයෙන් කතා කිරිමෙන් පසුව පොලිස් ජීප් රථයකින් පැමිණි නිලධාරින් තිදෙනකු දරුවන් තිදෙනකු එම රථයේ නංවාගෙන විදුහලෙන් පිටතට රැගෙන ගොස් ඇති බවත් වාර්තාවේ.



 විදුහල්පතිවරියගේ දැනුම් දීම අනුව පාසලට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් විසින්  
 පස්වැනි  වසරේ සිසුන් තිදෙනකු, පාසලෙන් එළියට රැගෙන ගිය එම අවස්ථාවේ ළමුන්ට ආකාරයට ඔවුන්ට සලකා නැති අතර දරුවන් දණ ගස්වා යටිපතුලට පහරදී විදුලිය (කරන්ට්) වැදීමට සලස්වා ඇතැයිද පැවසේ.

දරුවන් පාසලෙන් එළියට රැගෙන ගොස් ඇතැයි පැවසෙන්නේ මාංචු කුට්ටම් ද දැමීමෙන් පසුවය. සිද්ධියෙන් තුවාල ලැබූ දරුවෝ දෙදෙනෙක් රෝහල්ගත කරනු ලැබ සිටිති. මින් සිසුවකුගේ ශරීරයේ පිළිස්සුම් තුවාල කිහිපයක් ද තිබී සොයා ගැනුණු බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයා පැවසීය. දරුවන් තිදෙනා පාසලෙන් එළියට රැගෙන යෑමට පොලිස් පරීක්ෂකවරයකු පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු සම්බන්ධ වී ඇති බවට ද අධිකාරියට තොරතුරු අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින එම විදුහලේ විදුහල්පතිවරියට  ගුරුවරියකට සහ පොලිස් නිලධාරින් තිදෙනකුට ද ජාතික ළමා රක්ෂක අධිකාරිය හමුවේ අද (8) පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට අද (8) කරුණු වාර්තා කරන බව සඳහන් කළේය.

 

මේ අතර දරුවන් පාසලෙන් එළියට රැගෙන යෑමට යොදාගත් බව පැවසෙන පොලිස් ජීප් රථය නඩු භාණ්ඩයක් ලෙස ජාතික ළමාරක්ෂක අධිකාරිය භාරයට පෙරේදා (6) ගෙන ඇත. එම ජීප් රථයේ තිබී දරුවන්ට විදුලිය ඇල්ලීමට යොදාගත් බවට සැක කෙරෙන වයරයක් සොයාගත් බව ද සභාපතිවරයා කීවේය.

මේ අතර මෙම සිද්ධියේ දී පොලිස් නිලධාරින් අතින් වරදක් සිදුවී ඇත්දැයි සෙවීම සඳහා පොලිස්පතිවරයා විසින් පොලිස් විශේෂ විමර්ශන අංශයේ නිලධාරීහු කණ්ඩායමක් යොදවනු ලැබ තිබේ.

 සිද්ධිය පිළිබඳව තොරතුරු අනාවරණය වීමෙන් පසු යම් යම් කණ්ඩායම් පහර කෑමට ලක්වූ දරුවන්ට සහ ඔවුන්ගේ මවුපියන්ට විවිධාකාර බලපෑම් කිරීමට පටන්ගෙන ඇති බවද ජාතික ළමාරක්ෂක අධිකාරියට තොරතුරු අනාවරණය වී ඇත.