himasha-kavindi-a9

කුරුණෑගල මහින්ද මහා විද්‍යාලයේ දෘශ්‍යාබාධිත දියණියක් අපොස සාමාන්‍ය පෙළ විෂයන් නවයටම ඒ සාමාර්ථ ලබා ගනිමින් විද්‍යාලයට කීර්තියක් ගෙන එන්නට සමත් වූවාය.ඇය  හිමාෂා කාවින්දි දියණියයි. අනුරාධපුර,අභයපුර ප්‍රදේශයේ ඇය උපත ලබා  ඇති අතර, කුරුණෑගල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි වී ඇත්තේ පූර්ණ  දෘශ්‍යාබාධිත තත්වයෙන්  පසුවන හෙයින් අධ්‍යාපනය ලබාගැනීම අරමුණු කරගෙනය.

හිමාෂා කාවින්ද්‍යා,  සඳගල විශේෂ අවශ්‍යතා සහිත වූවන් සඳහා වන පාසලේ පහ වසර දක්වා අධ්‍යාපනය ලැබුවාය. පහ වසර ශිෂ්‍යත්වය විභාගයෙන් 2016 වසරේදී ලකුණු 173 ක් ලබා ගනිමින් කුරුණෑගල මහින්ද මහා විද්‍යාලයට ඇතුළු වූවාය. ඇය පාසලේ නම බබළවන්නට සමත්වූයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවකු ලෙස මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා විෂයන් නවයටම ඒ සාමාර්ථ ලබාගනිමිනි. 2008 වසරේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ ආරම්භ වූ කණ්ඩායමේ ප්‍රථම වතාවට ඒ සාමාර්ථ 10 ක් ලබා ගනිමින් සඳරු ප්‍රියන්වදා දියණිය ඒ වසරේදී මෙම පාසලේ නම බැබළ වූ අතර නැවත වතාවක් විශේෂ අවශ්‍යතා සහිත දරුවකු ලෙස සිංහල මාධ්‍ය  අංශයෙන් විෂයන් නවයටම ඒ පාසලට කීර්තියක් ගෙන එන්නට හිමාෂා කාවින්දි දියණිය සමත් වූවාය.



සාමාන්‍ය පන්තියේ දරුවන් සමග ඉගෙනුම ලබන ඇය 2018 වසරේ දී සමස්ත ලංකා (කනිෂ්ඨ අංශය) ශාස්ත්‍රීය ගායන අංශයේ ප්‍රථම ස්ථානය දිනාගත්තාය. මේ වනවිට සංගීත විශාරද විභාගය සමත්ව සිටින ඇය තබ්ලා සහ වයලීන් මධ්‍යම විභාගය ද සමත් ව සිටී.  ඇය සිංහල භාෂාවට අමතරව ඉංග්‍රීසි, හින්දි, දෙමළ, භාෂාවන් තේරුම් ගැනීමේ සහ කතා කිරීමේ හැකියාව ද ප්‍රගුණ කර ගනිමින් සිටින්නීය.  සංගීත විෂයෙන් ඉතාමත් ඉහළට ගොස් සිටින ඇය උසස් පෙළ සඳහා තර්ක ශාස්ත්‍රය, ආර්ථික විද්‍යාව සහ දේශපාලන විද්‍යාව යන විෂයයන් හැදෑරීමට කැමැත්තෙන් සිටින බවත්, බැහැයි කියා අධෛර්යවත් නොවී ඕනෑම දෙයක් කළොත් සාර්ථකව කරන්න පුළුවන් යනු ඇයගේ අදහසයි. 

ඇයට බ්‍රේල් පරිවර්තනය කරමින් ඇය ළඟින්ම සිටි බ්‍රේල් ගුරුවරිය ඩී. ජයවතී මහත්මියයි. මේ පාසලට මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සුවිශේෂී ගුරුවරියක ලෙස අපි ඇය සමඟ කතාබහ කළෙමු.

"බ්‍රේල්  ගුරුවරයකුගේ වගකීම තමයි විභාග සඳහා උදවු උපකාර කිරීම. බ්‍රේල් හැසිරවීම, පරිවර්තනය කර දීම යන කාරණා බ්‍රේල් හැසිරවීම ඉතාමත්  අසීරු කටයුත්තක් නිසා  ගොඩක් දරුවන් වයස ඉක්ම ගොස් තමයි සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙන්නෙ. නමුත් මම මගේ දරුවාට නිසි වයසේ දී සාමාන්‍ය පෙළ විභාගයට වාඩිවෙන ආකාරයටම හිමාෂා දුවත් වාඩි කරවීමට බ්‍රේල් වලින් විතරක් නෙවෙයි විෂය කරුණුවලිනුත් සහයෝගය දුන්නා.  මගේ දුව විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු විදිහට සාමාන්‍ය පන්තියේ ඉගෙන ගනිමින් 2008 වසරේදී ඒ සාමාර්ථ 10 ක් ලබාගන්න යොමු කළ ආකාරයට ම මේ දරුවටත් මම සහයෝගය ලබා දුන්නා.

මෙහිදී ඔය පාසලෙන් ම ඉගෙන ගෙන ප්‍රාසාංගික කලා ගුරුවරියක වන දෘශ්‍යාබාධිත මගේ දුව හිමාෂා දුවට සංගීතය ඉගෙන ගැනීමට ලබාදුන් සහය පිළිබඳවත් මා ලබන්නේ අප්‍රමාණ සතුටක්."

විද්‍යාලයේ විදුහල්පති එච්.එම්. සරත් චන්ද්‍රසිරි හේරත් මහතා විශේෂ අවශ්‍යතා සහිත දරුවකු ඒ නවයක් ලබාගනිමින් විද්‍යාලයට ලබාදුන් කීර්තිය පිළිබඳව කෘතඥතාව පළ කළේය.  විද්‍යා ගුරුවරියක ලෙස එම විද්‍යාලයේම කටයුතු කරන හිමාෂා කාවින්දි දියණියගේ මව ගීතානි ලියනගේ මහත්මිය අප සමග කියා සිටියේ, "දුව වෙනුවෙන් විශාල කැප කිරීම් කරන්න සිදු වුණේ නෑ. එයාගේ ධාරණය කර ගැනීමේ හැකියාව ඉතාමත් ඉහළ තැනක තියෙනවා. විශේෂයෙන් විද්‍යාව වැනි විෂයන් වල දී අනෙක් දරුවන්ට පොදු ප්‍රශ්න පත්‍රය විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ලබාදීමේ ගැටලුවක් තියෙනවා. රූප සටහන් ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් වීම ඉතා ගැටලුකාරී තත්ත්වයක්. දැනට ගණිතය වැනි විෂයයන් සඳහා විශේෂ ප්‍රශ්න පත්‍රයක් ලබා දුන්නත්, විද්‍යාව වගේ රූප සටහන් සහිත විෂයන්වලට එහෙම ලබා දෙන්නේ නෑ. මේ තත්ත්වය තේරුම් ගෙන ඉදිරියට ඉගෙන ගන්න ඉන්න මෙවැනි දරුවන් සඳහා ඒ පහසුකම ලබා දෙනවා නම් හොඳයි."


චාන්දනී දිසානායක