gampaha-incident

ගම්පහ ඉහළයාගොඩ ප්‍රදේශයේ නිවසක ඉහළ මාලයේදී බෑනා මාමණ්ඩිය සහ නැන්දම්මා අතර ඇතිවූ ආරවුලකදී ඉහළ මාලයෙන් බිමට ඇද වැටී මාමණ්ඩිය මිය ගොස් නැන්දම්මා බරපතළ තුවාල ලද සිදුවීමක් වාර්තාවේ.



සැකකාර බෑනා නාවික හමුදාවේ සේවය කරන අයකු වන අතර සැකකරු අසල්වැසි නිවසක පවත්වන ලද සාදයකට පෙරේදා (13දා) රාත්‍රී සහභාගි වී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. එම සාදයට සහභාගි නොවන ලෙසට බිරිඳ සහ බිරිඳගේ’ දෙමව්පියන් සැකකරුට පවසා ඇතත් සැකකරු එම විරෝධතා නොතකා සාදයට සහභාගි වී ඇති බව පොලිසිය පවසයි.

සාදය අවසන් වී සැකකරු නිවසට පැමිණීමෙන් අනතුරුව සැකකරු බිරිඳ සහ බිරිඳගේ දෙමාපියන් අතර අඩක් නිම කළ නිවසේ ඉහළ මහලේ දී ආරවුලක් ඇති වී ඇති බව පොලීසිය කියයි. එහිදී සැකකරු සහ මාමණ්ඩිය අතර පොර බැදීමක් සිදු වී ඇති බවත් එහිදී ආරක්ෂිත වැටක් නැති උඩු මහලේ කවුළුවකින් මාමණ්ඩිය බිමට ඇද වැටී ඇති බවත් මාමණ්ඩියගේ සිරුර මතට නැන්දම්මාද ඇද වැටී ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

යක්කල, ඉහළයාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ 66 හැවිරිදි ඩබ්. ජී. සුගත් විල්බට් ජයසිංහ නමැති අය මෙම ඇද වැටීමෙන් පසු මිය ගොස් තිබේ.
සිද්ධියෙන් තුවාල ලැබූ බිරිඳ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නීය.


මේ සම්බන්ධයෙන් නාවික හමුදාවේ සුළු නිලධාරියකු වශයෙන් සේවය කරන බව කියන 42 හැවිරිදි සැකකාර බෑනා අත්අඩංගුවට ගනු ලැබූ බවත් පොලිසිය සඳහන් කරයි.
සැකකරු මාමණ්ඩිය සහ නැන්දම්මාව උඩුමහලින් බිමට තල්ලු කළේ ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව යක්කල පොලිසිය පවසයි. 40 හැවිරිදි සැකකරුව යක්කල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.