
බිත්තර ප්‍රශ්නය ඉදිරි දින දෙක තුළ නොවිසඳවුවහොත් මුළු රටේම හෝටල් සහ ආපනශාලා ලබන බදාදා වන විට සම්පුර්ණයෙන්ම වැසී යනු ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අනතුරු ඇඟවීමක් කළේය. රටේ බිත්තර හිගය හේතුවෙන් ආප්ප, ප්‍රයිඩ් රයිස්, කොත්තු, බිත්තර රොටි, බිත්තර රෝල්ස්, කේක්, පුඩින්, වටලප්පන් යනාදී ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නැවතී ඇතැයිද ඔහු සඳහන් කළේය.
වෙළෙඳ අමාත්‍යාංශය ඇතුළු වගකිවයුතු සියලු අංශ වහාම මැදිහත් වී බිත්තර සංගම් සමග සාකච්ඡා කර මේ ගැටලුව නිරාකරණය කිරීමට පියවර ගත යුතු බවත්, එසේ නොවුවහොත් ප්‍රශ්නය බරපතළ වනු ඇති බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය. "මිල අඩු කරනවා නම් අඩු කරන්න. වැඩි කරනවා නම් වැඩි කරන්න, කරන දෙයක් කරන්න. මොනවා හරි කරලා අපිට ඕන බිත්තර. නැත්නම් හෝටල් කර්මාන්තය මින් ඉදිරියට ගෙනියන්න බෑ" යැයිද අසේල සම්පත් මහතා කීවේය. මේ අතර ගෘහස්ථව කෙරෙන කේක් නිෂ්පාදනය ආදී කර්මාන්තද බිත්තර හිගය නිසා මේ වනවිට සම්පූර්ණයෙන්ම නතර වී ඇතැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බිත්තර නිෂ්පාදකයන්ගේ සංගම් නියෝජිතයන් ප්‍රකාශ කරන්නේ පාලන මිලට බිත්තර අලෙවි කිරීමට නොහැකි හෙයින් වෙළෙඳ පොළේ බිත්තර හිගයක් මෙලෙස ඇතිවී තිබෙන බවයි. බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය සියලු අමුද්‍රව්‍ය මිල අහස උසට ගොස් ඇතැයිද එම සංගම් පෙන්වා දෙයි.
( සුජිත් හේවාජුලිගේ)
Comments
Post a Comment
Your comment will be visible after approval