nugegoda-woman-death

නුගේගොඩ ප්‍රදේශයේ දෙමහල් නිවසක තනිව විසූ ධනවත් වයෝවෘද්ධ කාන්තාවක අභිරහස් ලෙස මියගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලීසිය සදහන් කරයි. එලෙස මිය ගොස් ඇත්තේ නුගේගොඩ පරණ කැස්බෑව පාර පදිංචිව සිටි විනීතා ජයසිංහ නැමැති 75 හැවිරිදි කාන්තාවකි.


මියගිය කාන්තාවගේ සැමියා මීට වසර 17 කට ඉහතදී මියයාමෙන් අනතුරුව ඇය පමණක් නිවසේ තනිව සිට ඇති බව පොලිසිය කීය. දෙමහල් නිවස දෙසින් අධික දුර්ගන්ධයක් හමන බවට මිරිහාන මූලස්ථාන පොලීසියට ඉකුත් 29 වැනිදා ලද තොරතුරක් අනුව එහි ගිය පොලිස් කණ්ඩායමක් නිවස තුළ කිසියම් අයකු මිය ගොස් ඇති බව තහවුරු කරගැනීමෙන් අනතුරුව ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරිවරයා සහ නුගේගොඩ කොට්ඨාස අපරාධ ස්ථාන නිලධාරින්ගේ සහභාගීත්වයෙන් ඉදිරිපස දොර කඩා නිවසට ඇතුළු වූ බව පොලිසිය කියයි. එම අවස්ථාවේදී උඩු මහලට ගමන් කරන  පියගැටපෙළ අසල මුනින් අතට වැටී තිබූ නිවෙස් හිමි කාන්තාවගේ මළසිරුර දැකගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.




මියගිය කාන්තාව නිවසේ උඩු මහලේ කාමරයක ගතකරන බවට ඥාතීගෙන් දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව එම කාමරය ඇතුළු නිවසේ අනෙකුත් ස්ථාන මෙන්ම අල්මාරි සහ අනෙකුත් දෑ සම්බන්ධයෙන්ද පරික්ෂා කිරීමේදී කිසිදු පිටස්තර පුද්ගලයකු නිවසට ඇතුළු වූ ආකාරයක් හෝ බඩුබාහිරාදිය ඇද දමා තිබෙන ආකාරයක් දක්නට නොවූ බව පොලිසිය කියයි. මියගිය කාන්තාවගේ ඥාතියකු මහරගම පදිංචිව සිටින අතර ඇය ඉකුත් 30 වැනිදා මියගිය කාන්තාව සමග නිවසේ ස්ථාවර දුරකතනය හරහා කතාබහ කර ඇති බව තොරතුරු ලැබුණු බවත් එම දිනයෙන් පසු කිසිදු ඇමතුමකට කාන්තාවන්ගෙන් ප්‍රතිචාරයක් නොලැබුණු බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. මළ සිරුරේ තත්වය පිළිබද පරික්ෂා කිරිමේදී කාන්තාවගේ මරණය දින 9 කට පමණ ඉහත දී සිදුවන්නට ඇති බවට සැක කරන බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.



වයෝවෘද්ධ කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් නුගේගොඩ අධිකරණයට කරුණු වාර්තා කිරිමෙන් අනතුරුව වැඩබලන මහේස්ත්‍රාත් සුනීතා නානායක්කාර මහත්මිය මළසිරුරු තිබු නිවස වෙත පැමිණ මළ සිරුර හා ස්ථාන පරික්ෂාවක් සිදු කිරීමෙන් අනතුරුව මළසිරුර කළුබෝවිල රෝහලේ තැත්පත් කර තබා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසට පොලිසියට නියෝග කෙරිණි. මියගිය කාන්තාවගේ ගෙලට බලයක් යෙදී ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මතයක් හැටියට සදහන් කර ඇතත් එය කුමන අයුරින් සිදු වූවක් ද යන්න ස්ථිර නිගමනයකට පැමිණ නැතැයි පොලිසිය කියයි. මරණය සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන සහ විද්‍යාත්මක සාක්ෂි පදනම් කරගෙන පූර්ණ පරික්ෂණයක් සිදුකරන බව පොලීසිය වැඩිදුරටත් පවසයි. මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත උපපොලිස් පරික්ෂක රුවන් ප්‍රභාත් මහතා ඇතුළු කණ්ඩායමක් පරික්ෂණ පවත්වයි.


(බණ්ඩාරගම බිමල් ශ්‍යමන් ජයසිංහ)