court-case-moratuwa

මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී විනිසුරුවරයාට ආචාර කරමින් සිටි පොලිස් සැරයන්වරයකු හදිසියේ බිම ඇද වැටීමෙන් මියගොස් ඇතැයි පිළියන්දල හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා පැවසීය.  මෙලෙස මියගොස් ඇත්තේ හක්මන පොලිසියට අනුයුක්තව අපරාධ අංශයේ සේවය කරමින් සිටි වලස්මුල්ල කොහොලාන දිවුලම්පිටිය පාර පදිංචිකරුවකු වූ ගිගන ගමගේ මහානාම නිශාන්ත ප්‍රියදර්ශන නමැති 50 හැවිරිදි තිදරු පියෙකි.



මියගිය පොලිස් සැරයන්වරයා මීට වසර කිහිපයකට ඉහත දී මොරටුව එගොඩඋයන පොලිසියේ සේවය කරමින් සිටිය දී 2018 මැයි මාසයේ දී පහරදීමක් සම්බන්ධයෙන් කාන්තාවක අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ බව පොලිසිය කියයි.  එම නඩුව ඊයේ (23) විභාග වෙමින් තිබිය දී සාක්ෂි කූඩුවේ සිට සාක්ෂි දුන් සැරයන් අනතුරුව මහේස්ත්‍රාත්වරයාට ආචාර කරන අවස්ථාවේ දී රෝගී වී එකවරම බිම ඇද වැටී ඇතැයි පොලිසිය පවසයි.

වහා ක්‍රියාත්මක වූ එහි සිටි පොලිස් නිලධාරීන් සැරයන්වරයා ලුනාව රෝහලට රැගෙන එන විටත් මියගොස් සිට ඇතැයි හදිසි මරණ පරීක්ෂකවරයා කීය.  එම අවස්ථාවේ දී මද වේලාවකට අධිකරණ කටයුතු තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබිණි.

මියගිය සැරයන්වරයාගේ මෘත දේහය තැන්පත් කර තිබූ ලුනාව ප්‍රාදේශීය රෝහල වෙත පැමිණි හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා දේහය පරික්ෂා කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එය කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර අද දින පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස පොලිසියට නියෝග කළේය. මොරටුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

බිමල් ශ්‍යාමන් ජයසිංහ