Ranil-reminded-who-is-Dean-Diem-What-did-he-do-to-Vietnam

‘අරගලයක් තව ඇති කරනවලු ආණ්ඩුව වෙනස් කරන්න..මං ඒකට ඉඩ දෙන් නැහැ. හමුදාව යොදවනවා..හදිසි නීතිය දානවා. එහෙම කරන්න ආවොත් කරන්න දෙන් නැහැ. ඩීන් ඩියම්ලට තැනක් නෑ මේ රටේ..‘ යනුවෙන් ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ජනපති රනිල් තර්ජනාත්මක ප්‍රකාශයක් සිදු කළේය.


පොත් කියවන රනිල්, ‘ඩීන් ඩියම් ‘ (Ngô Đình Diệm) උදාහරණයට ගත්තත් ඔහු ඒ කියුවේ කාගැනදැයි පාර්ලිමේන්තුවේ වැඩි දෙනෙකුට තේරුනේ නැත. වියට්නාම ජනරජයේ පළමු ජනපති (1955-63) ලෙස කටයුතු කළ ‘ඩීන් ඩියම්‘ එරට ඉතිහාසයේ ලියැවී ඇත්තේ කුමන්ත්‍රණකරුවෙකු ලෙසයි.
වියට්නාමය ප්‍රංශයේ යටත් විජිතයක් වශයෙන්  සිටි කාලයේ එරට උතුර හා දකුණු ප්‍රදේශවල කොමියුනිස්ට් විරෝධී හා ප්‍රතිසංස්කරණවාදී අරගලයක් මෙහෙයවූ ඩීන් ඩියම් ජනතාවට විවිධාකාරයේ ‘කැරට් අල ‘ දුන් කෙනෙකි. ජිනීවා ගිවිසුම් 1954 ජූලි මාසයේදී අත්සන් කරන ලද අතර වියට්නාමය දෙකඩ විය.

උතුරු වියට්නාමය හෝ චි මිං ගේ කොමියුනිස්ට් රජය විසින් පාලනය කරනු ලබන අතර දකුණු වියට්නාමය මෙහෙයවනු ලබන්නේ Bao Dai අධිරාජ්‍යයා විසිනි.
ඇමරිකාවේ උදව් ලබාගනිමින් ඩීන් ඩියම් ජනතාව ගොනාට අන්දවා අරගලයකට තල්ලු කළේය.
1954 අගෝස්තු මාසයේදී, දකුණු වියට්නාමයට "ශක්තිමත් සහ ජනප්‍රිය" නායකයෙකු අවශ්‍ය බව ප්‍රකාශ කරමින්,  ඩියම් එවක පාලක හින්හ්  (Nguyễn Văn Hinh) වෙත මහජන ප්‍රහාර මාලාවක් දියත් කළේය.
1954 අවසානයේ දී, ඩිම් සාර්ථක ලෙස හින්හ්ට සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට බල කළේය. Hinh හට පැරිසියට පලා යාමට සිදු වූ අතර ඔහුගේ ජාතික හමුදාවේ අණදෙන නිලධාරි ජනරාල්වරයාට රට භාර දීමට සිදු විය. නමුත් ජාතික හමුදා නිලධාරීන් ජෙනරාල්ට වඩා ඩීන් ඩියම් ගේ නායකත්වයට කැමති වූ බැවින් ජනරාල්ටද පැරිසියට පලා යාමට සිදු විය.

 කෙසේ වෙතත් ඩීන් ඩියම් එලෙස ජනබලය වෙනුවෙන්කතා කළත් බලය ලබාගත් පසු ජනතාවට සේවය කරනු වෙනුවට ඉතාම නොහික්මුණ ආකාරයට පාලනය හැසිරවීය.
1955 ජනරජයක් බවට පත් කර ජනමත විචාරණයක් ලෙස මැතිවරණයක් පැවැත්වූයේ ඉතාම දූෂිත ආකාරයටය. ඇතැම් ප්‍රදේශවල ඡන්ද ප්‍රකාශ කරන්නන්ට වඩා ප්‍රතිඵල සටහනේ ලක්ෂ ගණන් වැඩි ඡන්ද තිබුණි.
පසුව සියයට 96 ක ඡන්ද ප්‍රතිශතයකින් ඔහු ජයගත් අතර ඩීන් ඩියම්ගේ පාලනය ජනතාවට හිතකර වූයේ නැත. ඩිම්ගේ පාලනය ඒකාධිපති සහ ඥාති සංග්‍රහයක් විය. ඔහුගේ විශ්වාසවන්තම නිලධාරියා වූයේ  ඩිම් කැන් නමැති අබිං වලට ඇබ්බැහි වූ  අයෙකු සහ ඇඩොල්ෆ් හිට්ලර්ගේ ‘න්හු‘ නමැති ගෝලයාය . ඔහු කැන් ලාඕ රහස් පොලිසියේ පෙළපාලි විලාසය සහ වධහිංසා විලාසය නාසි මෝස්තර මත ආදර්ශයට ගත්තේය.
ඔහු වියට්නාමයේ බුදු දහමට එරෙහිව කළ කටයුතු ජනතා අප්‍රසාදයට හේතු විය.ඔහුට එරෙහි ප්‍රතිකැරැල්ලක් මතුවිය. බලයට පත්ව වසර 8 කින් ඔහුට එරෙහි හමුදා කුමන්ත්‍රණයක් දියත්වූ අතර ඔහු පළාගොස් සැඟව සිටියදී හමුදාව අතින් ඝාතනය විය.