lista-dog-death

දකුණු පළාතේ මත්ද්‍රව්‍ය වැටලීම් හාරසියයකට අධික සංඛ්‍යාවකට දායකත්වය සැපයූ නිල සුනඛ ලිස්ටා ඊයේ (23දා) ජීවිතක්ෂයට පත්ව තිබේ. ගාල්ල මාතර නිල සුනඛ ඒකකයේ අධීක්ෂණ නිලධාරී උප පොලිස් පරීක්ෂක පී.පී.ඩී අබේවික්‍රමගේ උපදෙස් මත ගාල්ල මූලස්ථාන පොලිසියේ කොස්තාපල් 78840 චමිලගේ අධීක්ෂණය යටතේ සිටි මෙම සුනඛයා මත්ද්‍රව්‍ය වැටලීම්වලට දායකත්වය සැපයූ හොඳම සුනඛයා වේ.



හෙරොයින්, අයිස්, ගංජා වැනි මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් 302 කට යොදවා ඇති ලිස්ටාගෙන් සාර්ථක වූ වැටලීම් ගණන 104 කි.

2017 නොවැම්බර් 01 වැනිදා නෙදර්ලන්තයේ උපත ලද ගෝල්ඩන් රිච් රීවර් වර්ගයේ මෙම සුනඛයා 2018 වසරේ සැප්තැම්බර් 24 වැනිදා ශ්‍රී ලංකා පොලිස් නිල සුනඛ අංශයට අංක 1371 වශයෙන් බඳවාගෙන ඇත. අස්ගිරිය නිල සුනඛ මූලස්ථානයේ මූලික පුහුණුව ලැබූ මෙම සුනඛ්‍යා මත්ද්‍රව්‍ය පරීක්ෂණ රාජකාරී සඳහා සුවිශේෂී පුහුණුවකට ලක්වූ සුනඛයෙකි.

2019 මාර්තු 10 වැනිදා සිට 2019 අප්‍රේල් 11 දක්වා ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පරීක්ෂා කිරීම් සඳහා යොදවා ඇති නිල සුනඛ ලිස්ටා 2019 අගෝස්තු 20 වැනිදා ගාල්ල නිල සුනඛ ඒකකය වෙත ස්ථාන මාරු ලබා පැමිණ ඇත.



මීට මාසයක පමණ කාලයක සිට වකුගඩු රෝගයකින් පෙළී ඇත. සුනඛයා මිය යන විට සුනඛයාගේ වයස අවුරුදු පහයි දින විසි තුනකි.

මෙම සුනඛයා රූපවාහිනී නාළිකාවක විකාශය වූ ජනප්‍රිය ළමා ටෙලි නාට්‍යක ද රංගනයෙන් දායකත්වය සපයා ඇති අතර සුනඛයා නිසාම එම නාට්‍ය ජනතා සම්මානයට පාත්‍ර වී ඇත.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණගේ උපදෙස් මත ගාල්ල වැඩ බලන පොලිස් අධිකාරී මහේෂ් කුමාර් හා ගාල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පුලස්ති සොයිසාගේ උපදෙස් මත සුනඛයාගේ අවසන් කටයුතු ඊයේ සවස 03.30 ට සිදුවිය.