chamal-sanjeewa

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ළමා මන්දපෝෂණය පිළිබඳ රටට කරුණු හෙළිකිරීම හේතුවෙන් අසාධාරණ ලෙස වැඩ තහනමට ලක් කර සිටින වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා ඊයේ (22දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළේය.

මෙහිදී තමාගේ මූලික අයිතිවාසිකම් කඩවීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාර්න් 25දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 1,000ක වන්දි මුදලක්ද චමල් සංජීව මහතා ඉල්ලා ඇති අතර, වහාම අධ්‍යාපන සුදුසුකම්වලට ගැළපෙන තනතුරක තමා පිහිටුවන්නැයිද මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරියෙකු විසින් දෙපාර්තමේන්තුවකට විරුද්ධව ඉල්ලා ඇති විශාලතම වන්දි මුදල ලෙස මෙය අධිකරණ ඉතිහාසයට එක්වනු ඇත. පසුගිය සැප්තැම්බර් මස 19වැනිදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සම්බන්ධයෙන් සිදු කළ සමාජ සමීක්ෂණයකින් පසු වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය නියෝජනය කරමින් වෛද්‍ය චමල් සංජීව මහතා විසින් සිදු කරනු ලැබූ මාධ්‍ය ප්‍රකාශයක් පදනම් කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පසුගියදා ඒ මහතාගේ වැඩ තහනම් කිරීමට ලක්කරන ලදී.

වෛද්‍ය චමල් සංජීව මහතා වෙනුවෙන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේදී ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, කනීල් මද්දුමගේ, මනෝජ් නානායක්කාර, අමිල එගොඩවත්ත යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටීමට නියමිතය.

(සූරියවැව - නුවන් ජයසේකර)