New-Zealand-to-help-higher-education-research-in-Sri-Lanka

උසස් අධ්‍යාපන හා පර්යේෂණ සඳහා නවසීලන්තයේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ නවසීලන්ත තානාපති මිචෙල් ඇපල්ටන් (Michael Appleton) පවසයි.

කාලගුණික, කිරි නිෂ්පාදන ඇතුළු පශු සම්පත් ආශ්‍රිත පර්යේෂණ සඳහා නවසීලන්තයේ දීර්ඝ කාලීන සහයෝගය ශ්‍රී ලංකාවට ලබාදීමට අපේක්‍ෂා කරන බවද ඒ මහතා කීවේය.



හෙතෙම මෙම අදහස් පළ කරන ලද්දේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය සනාතන මන්දිරයේදී ඊයේ (21දා) ආරම්භ වූ ජාත්‍යන්තර සහයෝගිතාව  පුළුල් කිරීම නිමිත්තෙන් පැවැති වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමිනි.

පේරාදෙණිය විද්‍යාර්ථීන් සඳහා ඉන්දියාව, රුසියානු සමූහාණ්ඩුව, ජර්මනිය, ජපානය හා නවසීලන්තය යන රටවල තානාපති කාර්යාලවල සම්බන්ධීකරණයෙන් සිසු සහයෝගිතාව පුළුල් කිරීම මේ යටතේ සිදුවේ. ඒ සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ ජාත්‍යන්තර සබඳතා කාර්යාලයක් විවෘත කිරීමටද ඉදිරියේදී සැලසුම් කොට තිබේ.

ඉදිරි තාක්‍ෂණික ලෝකය සඳහා පර්යේෂණ සඳහා ඉහළ වැදගත්කමක් ඇතැයි කී නවසීලන්ත තානාපතිවරයා, පේරාදෙණිය සිසුන් සඳහා නවසීලන්තයේ අධ්‍යාපන හා පර්යේෂණ ශිෂ්‍යත්ව ලබාදෙන බවද කීවේය.

වර්ෂ 1950 සිට නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වීය සබඳතා පවතින බවද නවසීලන්ත තානාපති මිචෙල් ඇපල්ටන් (Michael Appleton) පැවැසීය.



සමාරම්භක උත්සවයට සහභාගි වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ අදහස් දක්වමින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා පර්යේෂණ කාර්යාලයක් ආරම්භ කරන බවද කීවේය.

ජාත්‍යන්තර ශේ‍ර්ණිගත කිරීම් අනුව පන්සියය වැනි ස්ථානයක පවතින පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉහළ ස්ථානයකට ගැනීම සිය අපේක්‍ෂාව බවත් ඔහු සඳහන් කළේය. විශ්වවිද්‍යාලය තුළ සිදුකරන පර්යේෂණ සඳහා වාණිජ වටිනාකම් ලබාදීමට සුදුසු වැඩසටහනක් ආරම්භ කරන බවද උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත්, ජාත්‍යන්තර පර්යේෂණ කාර්යාලයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය සී. එන්. ආර්. ඒ. අලස් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මහනුවර – කේ. එල්. සුරවීර