canada-migrants-sri-lanka-nabbed

වියට්නාමය සහ පිලිපීනය අතර මුහුදේ ගිලෙමින් තිබූ ' ලේඩි ආර් 3' නැවේ සිටි ශ්‍රී ලාංකිකයන් 303 දෙනකු බේරාගත් බව වියටිනාම මාධ්‍ය වාර්තනා කළේය.  'ලේඩි ආර් 3' නැවේ පුද්ගලයන් 303 දෙනෙකු යාත්‍රා කරමින් සිට ඇති අතර ඔවුන් සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් බව වියට්නාම මාධ්‍ය සඳහන් කළේය. මෙම පිරිස ඒ අසලින් ගමන් ගත් ජපාන මෝටර් රථ ප්‍රවාහන නෞකාවක් විසින් බේරා ගනු ලැබ ඇත. මියන්මාර ධජය යටතේ යාත්‍රා කරන නෞකාවක් පිළිබඳ තොරතුරු කොළඹ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයෙන් පෙරේදා (07) ලැබුණු බව වියට්නාම සමුද්‍ර සෙවීම් සහ මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබේ.



එම බෝට්ටුවේ ශ්‍රී ලාංකිකයන් 300 කට අධික පිරිසක් ගමන් කර ඇති බවත් එම පිරිස මියන්මාරයේ සිට කැනඩාව බලා  සංක්‍රමණය වෙමින් සිටි පිරිසක් දැයි සැකයක් පවතින බවත් වියට්නාම බලධාරින් සඳහන් කර ඇත. වුන්ගේ තාඕ වරායට නාවික සැතපුම් 258 ක දුරක දී නෞකාවේ  දෝෂයක් හේතුවෙන් එන්ජින් කාමරයට ජලය කාන්දු වීම  ආරම්භ වී ඇති බවත් එහිදී නැවේ සිටි ශ්‍රී ලාංකිකයකු නාවික හමුදාව සමග සම්බන්ධ වී උදව් ඉල්ලා ඇති බවත්  වාර්තා වේ. එම අවස්ථාවේ කොළඹ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සිංගප්පුරුවේ. වියට්නාමය සහ පිලිපීනය යන රටවලින් සහය පැතූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉන්දික ද සිල්වා මහතා පවසා ඇත. තොරතුරු ලැබුණු පසු වියට්නාමයේ හෝ චි මිං සිටි වෙරළබඩ ගුවන් විදුලි මධ්‍යස්ථානය නැවේ තත්වය පිළිබඳ ගුවන් විදුලි පණිවිඩ නිකුත් කර ඇති අතර එහිදී නැව අසලින්  ගමන් ගත් ජපාන ගිලීයෝස් මෝටර් රථ ප්‍රවාහන නෞකාව මෙම පුද්ගලයන්ගේ උදව්වට පැමිණ ඇත.



ශ්‍රී ලාංකිකයන් 303 දෙනා බේරා ගැනීමෙන් පසුව වියටනාමයේ වු තාඕ වාරයට පැමිණි බව වියට්නාම මාධ්‍ය වාර්තා කළේය. ශ්‍රී ලාංකිකයන් 303 දෙදෙනා අතර පිරිමින් 264 දෙනක්කු ද කාන්තාවන් 19 දෙනකු හා ළමයින් 20 දෙනකු සිටින බව වියට්නාම මාධ්‍ය වාර්තා කළේය.  මේ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඊයේ උදේ කළ විමසීමක දී වියට්නාමයේ වුන්ගේ තාඕ වාරයට පැමිණි මෙම පිරිසගේ අනන්‍යතාවය පිළිබඳ තොරතුරු රැස් කරමින් සිටින බවත් ඔවුන් සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් බව නිල වශයෙන් ප්‍රකාශ කළ නොහැකි බවත් එහි නිලධාරියෙක් පැවසුවේය.
විමුක්ති එස්. රුද්‍රිගු