
තමන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 60 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කර ලෙසට ඉල්ලා විශේෂඥ වෛද්‍යවරුන් 170 දෙනෙකු ගොනු කොට තිබූ රිට් පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය මේ සම්බන්ධයෙන් දෙසැම්බර් 13 වැනි දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට නියෝග කරමින් වගඋත්තර කරුවන්ට නොතීසි නිකුත් කළේය.
මෙම පෙත්සම ඊයේ (28) රෝහිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
වගඋත්තරකරුවන් හැටියට සෞඛ්‍ය ඇමැති, අමාත්‍ය මණ්ඩලය, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති. පසුගිය ඔක්තෝබර් 17 දින අමාත්‍ය මණ්ඩලය ගත් මෙම තීරණය අත්තනෝමතික හා අසාධාරණ බවට ද පෙත්සමේ සඳහන් වේ. පෙත්සම්කරුවන් විශේෂඥ වෛද්‍යවරුන් බැවින් විශ්‍රාම ගැන්වීමේ අවම වයස අවුරුදු 63ක් විය යුතු බව ද පෙත්සමේ සඳහන් වේ. එබැවින් වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසට ද, අදාළ තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා සිටියහ.
රංජන් කටුගම්පොළ
Comments
Post a Comment
Your comment will be visible after approval