After-graduating-in-computer-engineering-from-America-he-came-to-Sri-Lanka-and-went-into-theft

පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය ලබා ඇමරිකාවේ පරිගණක මෘදුකාංග ඉංජිනේරු උපාධියකට හිමිකම් කියූ බව කියන 25 හැව්රිදි පුද්ගලයකු සොරකම් සහ කොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් නාරාහේන්පිට කිතුල්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.  හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 7 මිලිග්‍රෑම් 800 ක් ඔහු ළඟ තිබී පොලිසියේ භාරයට ගෙන ඇත. කොල්ලකෑම් 25ක් සහ සොරකම් හයක් සිදුකර රුපියල් කෝටියක පමණ දේපළ කොල්ලකා ඇති සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී රුපියල් ලක්ෂ 30 ක පමණ වටිනාකමින් යුත් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන හා රන්මාල කීපයක් පොලිසිය සොයාගෙන ඇත.



මහ මග නවතා තිබෙන යතුරු පැදි සොරාගෙන කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල සැරිසරමින් මහමග තනිවම යන කාන්තාවන් ඉලක්ක කරගෙන ඔවුන් සතුව තිබෙන අත්බැග් කොල්ලකෑම මෙම සැකකරු කාලයක සිට සිදුකර තිබූ බව පොලිස් විමර්ශනවලදී යන අනාවරණ වී ඇත. සැකකරු එම අත් බෑග්වල තිබෙන මුදල්වලට අමතරව ජංගම දුරකථන සහ රන්භාණ්ඩ මෙන්ම ඒටීඑම් කාඩ්පත් ලබාගෙන ඔහු ලබා තිබෙන පරිගණක දැනුමද උපයෝගී කරගෙන එහි මුදල් ද ලබාගෙන ඇතැයි පොලිසිය කියයි.

සැකකරු ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස කතා කිරීමටත් ලිවීමටත් සහජ දක්ෂතාවක් දක්වන්නකු බවත් පොලිසිය කියයි. සැකකරු මහරගම දෙපානම ප්‍රදේශයේදී නීතිඥවරියකගේ අත් බෑගය කොල්ල කා එහි තිබූ වටිනා ජංගම දුරකතනය ද ලබාගෙන ඒටීඑම් කාඩ් පතේ ද මුදල් සියල්ල ලබාගෙන තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.නාරාහේන්පිට, වැල්ලම්පිටිය, මහරගම, කොහුවල, මිරිහාන, පිලියන්දල හා මාලබේ, වැලිකඩ ආදී පොලිස් වසම්වලදී කොල්ලකෑම් සහ යතුරුපැදි සොරා ගැනීම් සිදු කර තිබූ බව සැකකරුගෙන් දීර්ඝ ලෙස සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය කර ගැනීමට හැකි වී ඇත.

ජංගම දුරකතනයෙන් ඇමැතුමක් ලබාගන්නා ආකාරයෙන් වෙළඳසල් ඉදිරිපිට නවතා තිබෙන යතුරුපැදි අසල මද වේලාවක් රැඳී සිට යතුරු පැදි රැගෙන යාම කර තිබූ බවත් ඒ ආකාරයෙන් යතුරුපැදි හයක් වරින්වර සොරකම් කර කිසියම් කොල්ල කෑමක් සිදු කිරීමෙන් අනතුරුව එම යතුරු පැදිය මහමග දමා වෙනත් යතුරු පැදියක් සොරාගෙන පලා යාම සැකකරු පුරුද්දක් ලෙස කර ඇති බවත් සැකකරු මිතුරන් මාර්ගයෙන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට දැඩිව ඇබ්බැහිව සිටින්නකු බවත් පොලිසිය කියයි.



අත්අඩංගුවට ගත් සැකකරු මහරගම පන්නිපිටිය සෙත්සිරි පෙදෙස පදිංචිකරුවෙකි.  බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර  පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහත්වරුන්ගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ආර්.එල්.ආර්. මධුරංග, උපපොලිස් පරීක්ෂකවරුන් වන එච්.ජී.එස්. ප්‍රියමන්ත, ඩී.සී. බණ්ඩාර, පොලිස් සැරයන් 57241 උපුල්, 51237 බණ්ඩාර යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

පොලිස් කොස්තාපල්වරුන් වන 73011 සමන්, 74400 ජනිත්, 84333 වික්‍රමනායක, 88139 ලසන්ත, 91691 චතුරංග, 11509 චතුරංග, 3122 උදයන්ග, 1117 මධුමාල් යන නිලධාරීහු පරීක්ෂණවලට සහාය වූහ.


බිමල් ශ්‍යාමන් ජයසිංහ