පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යම් පුද්ගලයෙක් සඳහා දෙවැනි වරට ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේදී දඩ මුදලක් අය කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රමාද දෝෂයක් නොමැති අවස්ථාවලදී හෝ පළමු හැඳුනුම්පත අස්ථානගත වූ අවස්ථාවලදී ඒ බව නොදන්වා යළි හැඳුනුම්පත් ලබාගැනීමට ඉල්ලුම්පතක් යොමු කර ඇති නම් එම ඉල්ලුම්කරුගෙන් රුපියල් 2,500ක දඩ මුදලක් අය කිරීමට තීරණය කර ඇත.

දෙපාර්තමේන්තුවේ ප්‍රමාද දෝෂයක් හේතුවෙන් පළමු ඉල්ලුම්පත සඳහා ජාතික හැඳුනුම්පත නිකුත් කිරීම ප්‍රමාදවීම හේතුවෙන් දෙවැනි වරට නැවත ඉල්ලුම්පතක් ඉදිරිපත් කර ඇති ඉල්ලුම්කරුවන් සඳහා රුපියල් 250ක දඩ මුදලක් අය කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් පි.බී. ගුණතිලක මහතා චක්‍රලේඛයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. උචිත නියමිත කාලය තුළ ජාතික හඳුනුම්පත නොගත් ඉල්ලුම්කරුවන් සඳහාද දඩ මුදලක් අය කිරීමට නියමිතය. ඒ අනුව වයස අවුරුදු 15 එළඹෙන දින සිට අවුරුද්දක් ඇතුළත ජාතික  හැඳුනුම්පත ලබානොගත් ඉල්ලුම්කරුවන් සඳහා රුපියල් 2,500ක්ද, පුරවැසිභාවය පිළිබඳ පනතේ 19 (2) වගන්තිය යටතේ ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කළ දින සිට මාස 06ක් ඉකුත්වීමට පෙර ජාතික හැඳුනුම්පත ලබාගැනීමට ඉල්ලුම් නොකළ ඉල්ලුම්කරුවන් සඳහා රුපියල් 2,500ක්ද අය කිරීමට නියමිතය. ව්‍යාජ ලේඛන හා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම ඇතුළු පනතෙහි සඳහන් වන අනෙකුත් සියලුම වැරදි සඳහා රුපියල් 2,500ක්ද වශයෙන් දඩ මුදල් අයකරනු ලබයි.


(නවෝද්‍යා පවනි)