Three-members-of-the-same-family-who-robbed-supermarkets-were-arrested

පාරිභෝගික වෙස්ගෙන සංවිධානාත්මකව සුපිරි වෙළෙඳසල්වලට ඇතුළුවී භාණ්ඩ සොරා ගැනීමේ නිරත එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු සහෝදරයකු සහ තවත් කාන්තාවක අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. එම කල්ලිය විසින් සොරාගෙන තිබූ රුපියල් එක් ලක්ෂ පනස් දහසකට ආසන්න වටිනා මිලෙන් අධික කිරිපිටි, ටින්, කුඩ, හිසකෙස් ගල්වන ආලේප, වේදනා නාශක පෙති, ඇතුළු භාණ්ඩ රැසක් මෙන්ම සොරකම් සඳහා පිරිස ගමන්ගත් ත්‍රිරෝද රථය ද පොලිස් භාරයට ගෙන ඇත.



හැඳ සිටින සායට යටින් කලවා ප්‍රදේශයට හොඳින් තද වන සේ මසන ලද ඇදෙන සුලු විශේෂිත ලක් කොට කලිසමක් ඇද පාරිභෝගිකයන් සේ සුපිරි වෙළඳ සැල්වලට ඇතුළු වන කාන්තාවන් තිදෙනා එහි තිබෙන කූඩයක් රැගෙන මිලෙන් අධික භාණ්ඩ ඒ තුළට දමාගෙන වෙළඳසැල තුළ පාළු ස්ථානයකට ගොස් එම භාණ්ඩ හැඳ සිටින විශේෂ කලිසම තුළ රුවාගෙන භාණ්ඩ සොරා ගැනීම පුරුද්දක් කර ගෙන තිබූ බව පොලිසිය කියයි. එක් අයකු භාණ්ඩ සඟවා ගන්නා අතරේ දී අනෙක් දෙදෙනා ඔත්තු බැලීම සිදු කර ඇතැයි ද පොලිසිය  කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු විසින් ත්‍රිරෝදයෙන් සොර කාන්තාවන් තිදෙනා වෙළෙඳසල් කරා රැගෙන ගොස් ඇතැයි ද පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් කාන්තාවන් අතරින් වැඩිමල් සහෝදරිය විසින් මෙම කල්ලිය මෙහෙයවා ඇති අතර, සොරකම් කරන සෑම භාණ්ඩයක්ම ඇය වෙත ලබා දීම සිදු සිදුකළ යුතුව ඇතැයි ද සෙසු සැකකාරියන් ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.  එම ප්‍රධාන සැකකාරියට එරෙහිව මහධිකරණයේ මත්කුඩු චෝදනාවක් ද විභාග වන බව පොලිසිය කියයි.  මෙම සංවිධානාත්මක කල්ලිය මීට පෙරද අවස්ථා කීපයක දී පොලිස් අත්අඩංගුවට පත් තැනැත්තියන් බව පොලිසිය කියයි.


 බිමල් ශ්‍යාමන් ජයසිංහ