dambulla-accident

ඛනිජ වැලි පිරිපහදු කොට විදේශ රටවලට අපනයනය කරන දඹුල්ල හන්දිය ප්‍රදේශයේ කණ්ඩලම කර්මාන්ත ශාලාවක යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කරමින් සිටි දෙදරු පියකු එහි ‘පොක් ලිෆ්ට්’ යන්ත්‍රය ක්‍රියාත්මකවී සිදු වූ අනතුරකින් පෙරේදා (20) රාත්‍රියේ මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. මියගොස් ඇත්තේ දඹුල්ල කජුවත්ත ප්‍රදේශයේ පදිංචි එච්.ජී. තිලකසිරි (47) දෙදරු පියෙකි.



ඛනිජ වැලි පිරිපහදු කරන කර්මාන්ත ශාලාවේ වැලි හලන යන්ත්‍රයක් අලුත්වැඩියා කිරීම සඳහා කාර්මික ශිල්පීන් කීපදෙනෙකු පෙරවරුවේ සිට සේවයකර ඇති අතර යන්ත්‍රය ක්‍රියාත්මක කරන අවස්ථාවේ දී එම යන්ත්‍රය ආපස්සට ක්‍රියාත්මකවී හිස කොටස යකඩ බාර් දෙකකට තද වීමෙන් තුවාල ලැබූ මෙම සේවකයා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බව පොලීසිය කියයි. මියගිය කාර්මිකයා වසර 15 කට අධික කාලයක් මෙම පෞද්ගලික කම්හලේ සේවය කරන අයකු බව නිවැසියෝ පවසති. දඹුල්ල මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබන අතර මෙහි වැඩ පාලකවරයාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් වීමසීමේ දී කියා සිටියේ තමන් ඇතුළු කණ්ඩායම යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කරමින් සිටියදී මෙම අනතුර සිදුවූ බවයි. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර දඹුල්ල මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


 කාංචන කුමාර ආරියදාස