ambulance-myth

රජයේ රෝහලක ගිලන්රථයකින් දේවාලයක පේන ඇසීමට රෝහල් කාර්යමණ්ඩලය ප්‍රවාහනය කළ බව පැවසෙන දකුණු පළාතේ රෝහල් ප්‍රධානියෙකු සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කළ බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ චන්දිම එදිරිමාන්න මහතා පැවසීය. පසුගිය 17වැනිදා උදෑසන රෝහල් නිලඇඳුමින් හා සිවිල් ඇඳුමින් සිටි රෝහල් කාර්යමණ්ඩලයේ පස්දෙනෙකු කිලෝමීටර් 40කට ආසන්න දුරක් ගෙවා බටපොළ නින්දාන පාසල අසල දේවාලයකට රජයේ රෝහලක ගිලන්රථයකින් පැමිණ තිබියදී කිසියම් අයෙකු විසින් ඡායාරූප හා වීඩියෝගත කර දර්ශන ලබාගෙන තිබේ. අනතුරුව අදාළ පුද්ගලයා විසින් ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමේදී ඔහුටද අසත්‍ය පවසමින් එම කාර්යමණ්ඩලය පැමිණි පිරිස පැය 02කට පමණ පසු ගිලන්රථයෙන් ආපසු හැරී ගොස් ඇති බවට වාර්තා වේ. ගිලන්රථයේ රියැදුරා එතනට රැස්වූ පිරිස කරුණු විමසීමේදී ඔවුන්ට පවසා ඇත්තේ, නින්දාන පාසලට බෙහෙත්  ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවයි.

නින්දාන මහ විද්‍යාලයේ විදුහල්පති ජී.එච්.අයි. ෆොන්සේකා මහත්මියගෙන් කළ විමසීමකදී ඒ මහත්මිය පවසා සිටියේ, පාසලට එදින කිසිම ගිලන්රථයකින් බෙහෙත් ද්‍රව්‍ය හෝ කිසිවක් ගෙනවිත් භාර නොදුන් බවයි. ගිලන්රථය භාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි ප්‍රසන්න විජේසිංහ මහතාගෙන් කළ විමසීමේදී හෙතෙම  දැඩිව පවසා ඇත්තේ,

"පාරෙ තියෙන වාහන ඡායාරූප හා වීඩියෝගත කරන්නෙ කෙසේද? රෝහලේ වාහන රාජකාරිවලට තමයි යන්නෙ, තමන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ සිටින ලෙස ඉල්ලනවා” යනුවෙනි. අනතුරුව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ චන්දිම සිරිතුංග මහතාගෙන් මේ පිළිබඳ සිදුකළ විමසීමේදී හෙතෙම ප්‍රකාශ කළේ,

“අදාළ සිද්ධිය සම්බන්ධව මම පරීක්‍ෂණයක් කිරීමට ඒ පිළිබඳ භාරකාර අංශ දැනුවත් කළා.

රෝහලකින් රෝහලකට ගිලන්රථයක් ධාවනයේ යොදවනවා නම්, එහි රාජකාරි පොතේ සටහන් විය යුතුයි. එම රෝහලේ සිට රෝගියෙකු තවත් රෝහලකට ප්‍රවාහනය කිරීමට පෙර අදාළ වෛද්‍යවරයා විසින් නීත්‍යනුකූලව සටහන් තබා රියැදුරාට රාජකාරි පැවරිය යුතුයි. එහෙත් රජයේ වාහන අවභාවිත කරමින් රෝගීන්ගේ සේවාවන්ට යොදවා තිබෙන ගිලන්රථයකින් පේන කියන සාත්තරපොළවල්වලට යන්නට කිසිසේත්ම අවසරයක් නැහැ. ඒ ගැන වහාම පරීක්‍ෂණයක් කරනවා” යනුවෙනි.


( ඇත්කඳුරේ - ජනන් ද සිල්වා)