rupavahini-loss

රූපවාහිනී සංස්ථාව   2021 වසරේදී රුපියල් දෙකෝටි හැත්තෑ තුන් ලක්ෂයක් පාඩු ලබා ඇතැයි වාර්තාවකින් අනාවරණය වේ.සංස්ථාව පසුගිය වසර පහක් තිස්සේ පාඩු ලබමින් පවත්වාගෙන ගොස් ඇති බවද 2018 වසරේදී පමණක් රාජ්‍ය ප්‍රදාන හේතුවෙන් ලාභ ලබා ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.  එම වාර්තාව අනුව වසර අවසානයේ ණය ගැතියන්ගෙන් අය විය යුතු මුදල රුපියල් කෝටි 38කට ආසන්න වන අතර එයින් දාහත් කෝටි පනස් ලක්ෂයක්ම රාජ්‍ය ආයතන වලින් අය විය යුතු ණය වේ.

රාජ්‍ය ආයතනවලින් අය විය යුතු බව කියන ණය මුදලින් රුපියල් කෝටි නවයක හා පෞද්ගලික ආයතන වලින් ලැබිය යුතු බව කියන එක් කෝටි දස ලක්ෂයක ණය ශේෂ සනාථ කිරීමට සාක්ෂි නැතැයි ද එම වාර්තාවේ සඳහන් වේ.

මෙම සමස්ත ණය මුදලින් වසර හතර ඉක්මවූ ණය ප්‍රමාණය කෝටි දොළහකට ආසන්න බවද එයින් නැවත අය කර ගැනීම සඳහා නීතිමය පියවර ගෙන තිබෙන්නේ කෝටි හතරකට ආසන්න මුදලක් සඳහා පමණක් බවද එහි දැක්වේ. එම ණය මුදල් අතර පවතින රාජ්‍ය බැංකුවකින් ගෙවිය යුතු රුපියල් කෝටියක මුදල ගෙවීමට නොහැකි බවද එය විධිමත් ගිවිසුමකට එළැඹීමකින් තොරව සිදුකළ කාර්යයක් බවද එම බැංකුවෙන් දැනුම් දී ඇතැයි විගණන වාර්තාවේ සඳහන් වේ.


මුදිතා දයානන්ද