wimal-rohan-kodagoda

අධිකරණයට සහ නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් උපකාරක පන්ති ගුරුවරයෙකුට වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එය වසර පහක කාලයකට අත්හිටුවීමට නියම කළේය. අහිටුවූ සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂ 03ක දඩයකටද ඔහු යටත් කොට එම දඩ මුදල සති දෙකක කාලයක් තුළ ගෙවා අවසන් කිරීමට නියම කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දඩමුදල නොගෙවුවහොත් මාස හයක අමතර ලිහිල් සිරදඬුවමකටද ඔහු යටත් කළේය.

චෝදනාවට වරද පිළිගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වූයේ, උපකාරක පන්ති ගුරුවරයෙකු වන විමල් රොහාන් කෝදාගොඩ මහතාටය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේ, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

2019 වසරේ අගෝස්තු මස  19වැනිදා හෝ ඊට ආසන්න දිනයක නඩු විභාගයක් අවසන් වීමෙන් අනතුරුව අධිකරණ ශාලාවේ සිටි නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාට බැණ වදිමින් තර්ජනය කිරීමෙන් ඔහුට මෙම අධිකරණයටද අපහාසයක් සිදු කළ බවට විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නගා තිබිණි.


නිවාඩු පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු විභාගය අවසන් වීමෙන් අනතුරුව අධිකරණ ශාලාවේ සිටි නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාට බැණ වදිමින් තර්ජනය කළ බව නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම්දන ලදී. නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි. නීතිඥවරයා අධිකරණය අමතමින් අදාළ චෝදනාවලට තම සේවාදායකයා වරද පිළිගන්නා බව දැනුම් දුන්නේය.සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයෙන් මෙන්ම විජයදාස රාජපක්ෂ මහතාගෙද සමාව අයැද සිටින බව දැනුම් දුන් විත්තිකරුගේ නීතිඥවරයා තම සේවාදායකයාට ලිහිල් ආකාරයෙන් කටයුතු කරන්නැයි ඉල්ලා සිටියේය. මෙම සිද්ධියේ පැමිණිලිකරු වන අමාත්‍යවරයෙකු  මෙම නීතිඥවරයෙකුද වන විජයදාස රාජපක්ෂ මහතා අධිකරණය අමතමින් විත්තිකරුගේ සමාව අයැදීමෙන් තමන් සැහීමකට පත්වන බව දැනුම්පුන්නේය.




ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේප්න මහතා අධිකරණය අමතමින් විත්තිකරු බරපතළ වරදක් සිදුකර ඇතැයි පැවසීය. ගුරුවරයෙකු වන විත්තිකරු මීට වඩා බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත්, තමගෙන් ඉගෙනුම ලබන ළමයින්ට වැරදි දෑ ඉගැන්වීමෙන් වළකින ලෙසත් දැනුම් දෙමින් විත්තිකරුට තරයේ අවවාද කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේප්න මහතා තමන්ට වඩා උසස් ආයතන රටේ ඇති බව තේරුම් ගන්නා ලෙස විත්තිකරුට දැනුම් දුන්නේය. මෙවැනි මෝඩ ක්‍රියා සිදු කිරීමෙන් වළකින ලෙස දැනුම් දෙමින් විත්තිකරුට  තරයේ අවවාද කළ විනිසුරුවරයා සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගෙන සමාව අයැද සිටීම නිසා විත්තිකරු කළ වරද බරපතළ වුවද ලිහිල් ආකාරයෙන් කටයුතු කරන බව සඳහන් කරමින් අදාළ දඬුවම නියම කෙරුණි.


 (බුද්ධිමාල් රුබේරු)