කටුගස්තොට ප්‍රදේශයේ පිහිටි රජමහා විහාරයකින් රුපියල් ලක්ෂ හතර හමාරක් පමණ වටිනා අටපිරිකර 80 ක් පමණ සොරකම් කළැයි කියන සැකකරුවන් දෙදෙනකු සොරාගත් අටපිරිකර අටක්ද සමගින් පෙරේදා (04 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අටපිරිකර සොරකම් වී ඇත්තේ කටුගස්තොට අක්කර 22 ප්‍රදේශයේ රජමහා විහාරයකිනි.



වරින් වර සිදුව ඇති මෙම සොරකම් සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් කටුගස්තොට පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශන මගින් මෙම සොරකම්වලට සම්බන්ධ කටුගස්තොට ප්‍රදේශයේම පදිංචි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.

ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් තදින්ම හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදු වී සිටින පුද්ගලයන් වන අතර මොවුන් විසින් සොරාගන්නා ලද අටපිරිකර අටක් මහනුවර නගරයේ පිහිටි පූජා භාණ්ඩ අලෙවිසලකට විකුණා දමා තිබියදී පොලිසිය භාරයට ගෙන ඇත.

සැකකරුවන් ඊයේ (05දා) මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

(විජේරත්න හල්ඔලුව-හාරිස්පත්තුව)