wedding-fake-groom

පුවත්පත්වල මංගල දැන්වීම් පළකර කාන්තාවන් රවටා රුපියල් කෝටි ගණන් මුදල් වංචා කළ බව කියන පුද්ගලයකු පානදුර හිරණ ප්‍රදේශයේදී හෝමාගම විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. සැකකරු ව්‍යාපාරිකයකු සහ විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස පෙනී සිටිමින්

මංගල දැන්වීම්වලට ප්‍රතිචාර දක්වන කාන්තාවන් සමග සම්බන්ධකම් ගොඩනගා ගනිමින් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඇති බවත් ඔහුගේ වංචාවට හසුවූ කාන්තාවන් අතර පාසල් ගුරුවරියන් වැඩි දෙනකු සිටින බවත් එම  නිලධාරියා කීවේය.

ගම්පහ, උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි සැකකරු  නමැති ව්‍යාජ නමකින් පෙනී සිටිමින්, මෙම වංචා කර ඇති බවත් ඔහු සිය මවුපියන්ද සමග මනාලියන් බැලීමට නින්වෙස්වලට ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරයි. මෙම පුද්ගලයා මුල්ලේරියාව, ගොතටුව, ගම්පහ, මිනුවන්ගොඩ, මොරටුව සහ පානදුර ආදී ප්‍රදේශ රැසක කාන්තාවන් රවටා කෝටි ගණන් මුදල් වංචාකර ඇති බව  කියන පොලිසිය, ජපානයේ පදිංචි කාන්තාවක රවටා රුපියල් ලක්‍ෂ 20 ක මුදලක් ද ලබාගෙන ඇති බව සඳහන් කරයි.



එම සැකකරු කාන්තාවන් රවටා ලබාගන්නා මුදල්වලින් පානදුර හිරණ ප්‍රදේශයේ කුලී නිවෙසක සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සිටියදී අත්අඩංගුවට පත්වූ බව පවසන පොලිසිය ඔහු කාන්තාවගේ හැඳුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර යොදාගෙන දුරකථන සම්බන්ධතා රැසක් ලබාගෙන ඇති බව ද කියයි. හෝමාගම විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් විතාන මහතාගේ උපදෙස් මත, පොලිස් පරික්ෂක ජගත් පෙරේරා සහ උපපොලිස් පරීක්ෂක සුනිල් කුමාර රාජපක්‍ෂ යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් විශේෂ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

යොහාන් භාසුර