sudewa-left-swarnavahini

බෙන් හෝල්ඩින්ස් සමාගමට අයත් ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවෙහි ඉහළ පුටු වල වෙනස්කම් කිහිපයක් නැවතත් සිදුව ඇති අතර තවත් පුටු වෙනස්කමට ලක්වන බවට වාර්තා පළවේ.


ඊඒපී එදිරිසිංහ සමාගම මූල්‍ය පරිහානියට ලක්වීමෙන් පසු මෙම නාලිකාවේ කොටස් බෙන් හෝල්ඩින්ස් සමාගමට අලෙවි කරන ලද අතර බෙන් පරිපාලනය යටතේ ඒ දක්වා හිරු රූපවාහිනියේ සේවය කළ සුදේව හෙට්ටිආරච්චි හා රංගන ද සිල්වා නාලිකාවේ ඉහළ තනතුරු වලට බඳවාගැනීම සිදුවූයේ මීට වසර කිහිපයකට පෙරයි.
එවක ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනය වන්නට පටන් ගත් ආරම්භක සමය වූ අතර සිය සාම්ප්‍රදායික ජනපති මාධ්‍ය කණ්ඩායම විසුරුවා හැර තරුණ කන්ඩායමක් බඳවාගන්නට කටයුතු කළේය. එහිදී සුදේව හෙට්ටිආරච්චිට ජනපති මාධ්‍ය අධ්‍යක්ෂ ධූරය හිමිවූ අතර ඔහු එම තනතුරේ සිටිමින් ස්වර්ණවාහිනී ප්‍රධාන විධායක ලෙසද අනියමින් කටයුතු කළේය.



කෙසේ වෙතත් ගොඨාභය පළායාමත් සමග සුදේවගේ ජනපති මාධ්‍ය අංශ තනතුරින් ඔහු ඉවත්වූ අතර ස්වර්ණවාහිනියේ පෙරකී විධායක තනතුරේ නැවත පූර්ණ කාලීනව වැඩ කළ බව පැවසිණි. අද වාර්තා වූයේ සුදේවට තනතුරින් ඉවත්වන්නට ආයතනය දන්වා ඇති බවයි.
ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයෙහි නව ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී චතුර විද්‍යාරත්න මහතා පත්කිරීමට නියමිත බවද වාර්තා වේ.

පසුගිය කාලයේ ලන්ඩන් නුවර පදිංචිව සිටි චතුර විද්‍යාරත්න ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙකි. දිවයින, ලක්බිම, ලේක්හවුස් සහ ජාතික රූපවාහිනී යන මාධ්‍ය ආයතනවල සේවය කළ ඔහු අධිකරණ පුවත් වාර්තා සම්බන්ධයෙන් ප්‍රකටව සිටියේය.
පසුගියදා ඒ මහතා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද ඉල්ලීමක් අනුව මෙසේ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයෙහි ප්‍රධාන විධායක නිලධාරී තනතුර භාරගැනීමට එකඟ වී ඇති බවද පැවසේ.


රජය හා ස්වර්ණවාහිනී මාධ්‍ය අතර පවතින විශේෂ සම්බන්ධයද මෙම තනතුරු වෙනසට බලපා ඇත.

අද සිට  සුදේව හෙට්ටිආරච්චි මහතාව එම ආයතනයෙහි ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉවත් කර ඇති අතර අද (04) පෙරවරුවේ එම ආයතනයට පැමිණි ඒ මහතා සියලු දෙනාටම ස්තූති කර පිටව ගිය බවත් වාර්තා විය.
මේ අතර තහවුරු නොකළ තවත් වාර්තා සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන අතර එමගින් පැවසෙන්නේ ස්වර්ණවාහිනියේ තනතුරු කිහිපයක්ම වෙනස්වන බවත් සුදේව සමග පැමිණි රංගන ද සිල්වා මහතාද එළැඹෙන දින කිහිපයේදී එම ආයතනයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවයි.