lunch-boxes-missing-kurunegala

කුරුණෑගල ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලබන ඇතැම් සිසුන් අනෙක් සිසුන්ගේ කෑම පාර්සල් සොරකම් කොට ආහාරයට ගැනීම  හේතුවෙන් මේ වනවිට එම පාසලේ ගැටලුකාරි තත්වයක් උද්ගතව ඇතැයි වාර්තාවේ.  දැනට සති කීපයක සිට මේ ආකාරයට සිසුන්ගේ බෑග් තුළ දමා ඇති කෑම පාසල් සොරකම් කිරිම සිදුවන බව ද මේ හේතුවෙන් බොහෝ ගුරුවරුන්ට තමන්ට අයත් පන්ති කාමරවල සිසුන් රැගෙන එන කෑම පාසල් ආරක්ෂා කිරීමට සිදුව ඇති බව ද වාර්තාවේ.



එම පාසලේ දහය ශ්‍රේණියෙන් ඉහළ පන්ති තුළ මේ ආකාරයට කෑම පාසල් සොරකම් කිරීම නිරන්තරයෙන්ම වාර්තා වන බව ද මේ හේතුවෙන් එවැනි සිදුවීම්වලට මුහුණපාන සිසුන් නිවෙසින් පාසලට කෑම ගෙන ඒම ප්‍රතික්ෂෙප කරන බව ද පැවසේ.  මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මවක් සඳහන් කළේ අවස්ථා කීපයකදීම තම පුතා රැගෙන ගිය දිවා ආහාර පාර්සලය වෙනත්  සිසුන් සොරකම් කර ආහාරයට ගන්නා හෙයින් ඔහු මේ වනවිට පාසලට නිවෙසින් ආහාර ගෙන යාම ප්‍රතික්ෂේප කරන බවය.

මෙම සානුකම්පික තත්ත්වය සැලකිල්ලට ගෙන ඇතැම් ගුරුවරුන් තමන් රැගෙන එන කෑම පාර්සලය කෑම නොමැති සිසුන්ට ලබාදෙන බව ද පැවසේ.  මේ පිළිබදව අදහස් දැක්වූ එම පාසලේ ගුරුවරයකු කියා සිටියේ රට තුළ පවතින බරපතළ ආර්ථික අර්බුදය හමුවේ මෙය ඉතා බරපතළ මානුෂික ගැටලුවක් බවය. පාසලේ ජනප්‍රියභාවය සහ වයස් භේදයක් බඩගින්නට බලනොපාන අතර කෑම පාර්සල් සොරකම් කොට හසුවන සිසුන්ට එරෙහිව මානුෂීය හේතූන් මත කිසිදු පියවරක් ගත නොහැකි බව ද ඔහු සඳහන් කළේය.

පුෂ්පකුමාර ජයරත්න