ගලේවෙල කොස්ගහහින්න ප්‍රදේශයේ නාට්‍ය පොළකදී නාට්‍යයක් රඟ දක්වමින් සිටි නළුවකු පෙරේදා (2 වැනිදා) එම ස්ථානයේම මිය ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල කොස්ගහහින්නේ ඒ.ජී. ප්‍රේමසිරි (54) නමැති තිදරු පියකු බව පොලිසිය කියයි. මෙම ප්‍රදේශයේ තරුණ තරුණියන් ඒකරාශී කරගෙන මියගිය පුද්ගලයා මාස තුනක පමණ කාලයක් නාට්‍ය සංදර්ශන මාලාවක් පුරුදු පුහුණු කොට එම නාට්‍ය සංදර්ශනය කොස්ගහහින්න ප්‍රදේශයේම නිවෙසක් ඉදිරිපිට කල එළිදැක්වීම පසුගිය දා සිදුකොට තිබේ. මෙහිදී රාජ උදහසට ලක්වන පියකු සහ දියණියක චරිතයක් රගපාමින් සිටියදී රාජ උදහසට ලක්වන වයෝවෘද්ධ පියකු දියණිය සමග ඇතිවන කතා බහකදී ඔහු හදිසියේ රෝගබාධයට ලක්වන රුප පෙළ රගපාමින් සිට ඇති අතර මෙම රගපෑම සඳහා දෙබස් කථනය වෙනමම අංශයකින් ලබාදී තිබුණු අතර  රගපෑම් කරන දෙදෙනා අංග චලනයෙන් රගපෑම සිදුකොට තිබේ.



දියණිය ඉදිරියේ වයෝවෘද්ධ පියා එක වරම ඇදවැටෙන්නේ දෙබස් කථනයක් සමගය, එහිදී නාට්‍ය නරඹමින් සිටි බොහෝදෙනා ඒ දෙස බලා සිටියේ නාට්‍යයේම කොටසක් ලෙස නළුවා ඇද වැටෙන්න  ඇතැයි සිතා බව පොලිසිය කළ පරික්ෂණ වලින් හෙළිවී ඇත. මද වේලාවක් ගත වෙද්දී එමෙන්ම  නාට්‍යයේ ඇදවැටෙන දර්ශනය පසුව ක්‍රියාත්මක වන නිසා රංගනයේ යෙදුණු දියණිය වහාම අවධානය යොමු කරද්දී ඔහු සත්‍ය වශයෙන්ම යම්කිසි රෝගාබාධයකට ලක්ව ඇති බව හඳුනාගෙන අවට සිටි පිරිස ඔහු රෝහලට රැගෙන යෑමට පියවර ගෙන තිබූ බව පොලිසිය කියයි.

රෝහලට රැගෙන යන විටත් මිය ගොස් තිබුණු බව රෝහල් ප්‍රකාශකයෙක්  සඳහන් කළේය.  මෙම ගම්මානයේ සියලු දෙනා එක්ව නාට්‍ය කණ්ඩායම පුරුදු පුහුණු කර ඇත්තේ ද මියගිය  ප්‍රේමසිරි බවත් නාට්‍ය පුරුදු කොට පළමු වැනිදා නාට්‍ය සංදර්ශන පෙන්වා දෙවැනි දිනයේ දී මෙම ඛේදවාචකය සිදු වූ බව පොලිසිය කියයි. මියගිය ප්‍රේමසිරිගේ දේහය  මේ වන විට ගලේවෙල, කොස්ගහහින්න ප්‍රදේශයේ නිවසේ තැන්පත් කර ඇති අතර දරුවන් තිදෙනා සහ බිරිය ආර්.එම්. ස්වර්ණලතා  යන අය හඬා වැටෙමින් කියා සිටියේ වසර ගණනාවකට ඉහත මෙම පුද්ගලයා නාට්‍යවල රගපෑ බවයි.



නැවත තමන්ගේම දරු පිරිසක් යොමු කරගෙන අලුත් නාට්‍ය කණ්ඩායමක් නිර්මාණය කිරීම සිදු කළ බවත් තම සැමියා එම ස්ථානයේ ඇද වැටෙන අවස්ථාවේ තමන් ද ඇසින්  දුටු බවත් ඇය සඳහන් කළාය. මෙම නාට්‍ය සංදර්ශනයේ දියණියට රගපෑ ආර්.ඩී. නිකේෂලා මෙනවිය කියා  සිටියේ තමන් දෙබස් කථන  නාට්‍යයක් නිසා දෙබස් වෙන පැත්තකින් ලබාදෙමින් රගපෑම සිදු කළ බවය. එහෙත් නාට්‍ය පිටපතේ ඇත්තේ තාත්තා තවත් විනාඩි පහකට පමණ ප්‍රමාදයකින් රාජ පුරුෂයන්ගේ පහරදීමකට ලක්ව ඇදවැටීමේ ජවනිකාවක් බවයි. ඊට අමතරව තමන්ගේ  දියණිය රාජ උදහසට ලක්ව ඇති බව ප්‍රකාශ කරමින් ඔහු ඇද වැටුණ නිසා තමන් ද සිතා සිටියේ මෙය රගපෑමේ සිද්ධියක් බවය.  ගලේවෙල පොලිසිය පරික්ෂණ පවත්වයි.


කංචන කුමාර ආරියදාස