sri-lanka-economy-downgrade

ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) ලබාදෙන සහනදායී ණය පහසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක්ලෙ ස තාවකාලිකව නොසලකන ලෙසට ලෝක බැංකුවෙන් ඉල්ලා සිටීම සඳහා වන යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුවෙන් (IBRD) ඉහළ ණය ප්‍රතිශත යටත්තේ වාණිජ ණය ලබාගැනීමට තවදුරටත් හැකියාවක් නොමැති වී තිබේ. අවදානමට ලක්ව ඇති රටවලට සහනදායී ආධාර ලබාදෙන ලෝක බැංකුව යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් ලෙස කටයුතු කරන ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් (IDA) ණය ලබාගැනීමට මැදි ආදායම් සහිත රටවලට නොහැකි වීම නිසා මෙලෙස කෙටිකාලීනව 'ගැප්' ලෙස හඳුන්වන මැදි ආදායම් තත්ත්වය නොසලකා හැමේ පහසුකම් ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව රජය ඊයේ (16දා) නිවේදනය කළේය.



ඉන්දුනීසියාව ඇතුළු රටවල් 12ක් මෙම ක්‍රමවේදය දැනටමත් උපයෝගි කරගෙන සහනදායී ණය ලබාගෙන ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. කෙසේ වුවද ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් ලෙසම පවතින බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.මේ අතර, ඊයේ උදෑසන පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙම යෝජනාව සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කළේය. මැදි ආදායම් ලබන රටක් බවට ජාත්‍යන්තරව පිළිගනු ලබන විට සහනදායී කොන්දේසි යටතේ විදේශ ණය ආධාර යනාදිය ලබාගත නොහැකි බැවින් කැබිනට් මණ්ඩලය මෙම තීරණයට එළඹි බව අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, "අපේ රට ජාත්‍යන්තර වර්ගීකරණය අනුව මැදි ආදායම් ලබන රටක් බවට පත්වෙලා. තිබුණා. මැදි ආදායම් ලබන රටක් බවට ජාත්‍යන්තරව පිළිගනු ලබන විට සහනදායී කොන්දේසි යටතේ විදේශ ණය ආධාර යනාදිය ලබාගන්න බෑ. අපේ ඒකපුද්ගල ආදායම අනුවයි මේ වර්ගීකරණය සිද්ධවෙන්නේ. ඒකපුද්ගල ආදායම පසුගිය කාලසීමාව තුළ ආර්ථිකයේ පසුබෑමත් සමගම පහත වැටිලා තිබෙනවා. අපි මේ ඉතිහාසය සඳහන් කළොත් 1948 සිට 2004 දක්වා අවුරුදු 56ක කාලය තුළ අපේ රටේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 05%ට අඩු මට්ටමේ තිබුණේ. නිදහස ලැබෙනකොට  අපේ ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 120යි. අවුරුදු 56ක් ගතවුණා මේ ඒකපුද්ගල ආදායම ඩොලර් 1000 පන්නන්න. ඊට පසුව විශේෂයෙන් යුද්ධය නිමවීමත් සමඟ උතුරු නැගෙනහිර ගැටුම් නිමවීමෙන් පසුව ආර්ථික කටයුතු විශාල ලෙස ප්‍රසාරණය වුණා.



විශාල නිෂ්පාදන ක්‍රියාවලියේ පිබිදීමක් ඇති වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2014 වනවිට ඒකපුද්ගල ආදායම ඇමරීකානු ඩොලර් 3827ට පැමිණන විට ලංකාව අඩු ආදායම් ගොඩෙන් මිදිලා මැදි ආදායම් ගොඩට එකතු වුණා. 2017දී එය 4074 වුණා 2018දී එය 4057ට අඩුවුණා 2019දී 3848ට අඩුවුණා. 2020දී 3695 වුණා. 2021දී 3815 වුණා. 2022දී තවදුරටත් මෙම ඒකපුද්ගල ආදායම අඩුවන නිසා ලෝක සංවිධාන විසින් මුදල් අමාත්‍යවරයා වෙත දැනුම්දී තිබෙනවා. තවත් දුෂ්කරදායී තත්වය තුළ සහනදායී ලෙස ණය ආධාර ලබාගන්න පුළුවන් වෙන ලෙස ඒ ජාත්‍යන්තර ආයතනවලට මැදිහත් වීම පහසු කිරීම සඳහා නැවතත් රට කලින් තිබුණු තැනට අඩු ආදායම්ලාභී රටක වර්ගීකරණයට ඇතුළත් කරන්න කියන ඉල්ලීම ඇතුළත් කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණා” යැයිද ප්‍රකාශ කළේය.

(නවෝද්‍යා පවනි)